Life Lightly Roasted

Life Lightly Roasted ජීවිතේ හොඳටම කර කුට්ටම් වෙලා බැ. අමුවෙන් තිබිලාත් බෑ. නියම පදමට roast වෙන්න ඕන.

කොපි කැට් "අම්මේ මට ඉක්මනට මැරි කරන්න ඕන." ටවුමට ගිහින් ආපු ගමන් වීණා කිව්ව දේ එකපාරට ශ්‍රියානිට තේරුණේ නැහැ. "මොකක්? ඒ ...
21/09/2025

කොපි කැට්
"අම්මේ මට ඉක්මනට මැරි කරන්න ඕන." ටවුමට ගිහින් ආපු ගමන් වීණා කිව්ව දේ එකපාරට ශ්‍රියානිට තේරුණේ නැහැ.
"මොකක්? ඒ පාර මොකද්ද හැදුන පිස්සුව. "
"පිස්සු නෙමේ මට බදින්න ඕන කියල කිවේ. "
" ඔව් මට එක ඇහුණා, මේ හදිස්සියේ මොකද?" ශ්‍රියානි ටිකක් තිගැස්මෙන් ඇහුවේ. " නෑ... මට හිතුණා. අම්මලට පුළුවන් නේ දුලන්තලගේ අම්මලා එක්ක කතා කරගෙන ඉක්මනට වෙඩින් එක ලෑස්ති කරන්න."
" එකත් හොදයි. කොහොමත් ඕව කල් අරින්න හොද නැ. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. කියනවනේ. "
" කොහු කොහු නෙමේ ශුවර් එකට නීලා අක්ක බදින්න ලෑස්ති වෙනවා ඇති. එකයි මෙයාට මේ හදිස්සිය. නීලා අක්කා මොනාද කරන්නේ , මෙයාට ඒක කරන්න ඕන වෙනවා." එහෙම කිව්වේ මෙච්ච්ච්ර වෙලා ටීවී එකේ කතාවක් බල බල හිටපු ශ්‍රියාණි ගේ පොඩි දුව තමරී.
" අනේ මේ තමුසේ කට වහගන්නවා. නිලා තමුන්ට ලොකු උනාට මට ලොකු නෑ " වීණා කිව්වේ පිපිරෙන තරහින්.
“ඔව් ඔව් මට ලොකු නෑ අනේ කාටද දන්නේ නෑ ලොකු. නීලා අක්ක මොනාද කරන්නේ ඒ ඔක්කොම කරන්න හිතෙන්නේ මට වෙන්න ඇති . නීලා අක්ක ඒ ලෙවල් වලට සයන්ස් කරා . ඔයා බැරි මර ගාතේ සයන්ස් කරන්න ඉහින් ලයිට් කණු 3 ක් ගෙනාවා. ඊට පස්සේ මොකද්ද අර කෝස් එකක් නීලා අක්ක කරනවා කියල එක කරන්න ඕන කියල ලක්ෂ ගාණක් ඉවර කරා. තව මම දෙන්නන් පොඩි කාලෙ ඉදන් ඔයා කරපු මරි වැඩ ලිස්ට් එකක්ම. ඔක්කොම නීලා අක්ක කොපි කරන්න ගිහින්." තමරි කියාගෙන කියාගෙන ගියේ වීණා තවත් තරහ ගස්සවන ගමන්.
" මම කරන්න යන වැඩ ඔක්කොම අවුල් කරන්නේ නීලා තමයි." වීණා කිව්වේ කට ඇද කරගෙන.
" පුහ් .. මෙන්න වැඩක් , තමන්ට කරන්න බැරි වැඩ ඔක්කොම කරලා දැන් ඒවා නීලා අක්ක පිට පටවන්න එපා. එයා යසට ඔය කරන දේවල් පිලිවලට කරගෙන ඉන්නේ." තමරි කතාව නවත්තන්න සුදානමක් නැති නිසා ශ්‍රියානි ට මැදට පනින්න සිද්ද උනා. " "කටවහගන්න දෙන්නම. මොන වැදගත් දේ කතා කරන්න ගියත් කොහෙන් හරි දෙන්න රණ්ඩුවක් නං පටන් ගන්නවා. "
" ඇති යන්තන් අම්මට මේවා වැදගත් වගේ පේනවා නැත්තන් ඉතින් ඔයාටත් ලොකු නීලා යි සීතා පුංචි නේ " විණා ගස්සාගෙන ගෙට ගියේ ශ්‍රියානි නිරුත්තර කරමින්.
නීලා කියන්නේ ශ්‍රියානිගේ එකම නංගිගේ දුව. වීණා යි නීලා යි ඉපදුනේ එකම අවුරුද්දේ. මාස තුනක වෙනසක් තියෙන්නේ. පොඩි කලේ ඉදන් හැදුනේ එකට. එක ලග ගෙවල් නිසා එකම මොන්ටිසෝරියට වගේම දෙන්න ගියේ එකම ඉස්කෝලෙට. පොඩි කලේ එකම විදිහට ඇදුම් ඇදගෙන යනකොට දකින අය හිතුවේ නිවුන්නු කියලා. පහු වෙනකොට නං රුපයෙන් වගේම වැඩ කටයුතු වලිනුත් දෙන්න අතර ලොකු වෙනසක් පේන්න පටන් ගත්ත. කොහොම උනත් නීලා සැහෙන්න ඉදිරියෙන් සිටියදී වීණා නිකන්ම නීලව අනුගමනය කරන කෙනෙක් බවට පත් උනා. මොකද පවුලේ හැමෝම නීලා කරන දේවල් නිතරම අගය කරා. විණා නීලා කරන දේවල් කරන්න ගිහින් එක්කෝ මගදී අත් හැරියා . නැත්තන් පවුලේ අයගේ හිනාවට ලක් උනා. ඒ උනත් නීලා කරන දේම කරන්න උත්සහ කරනවා මිසක් වීණා කිසි දෙයක් තමන්ට කියල හිතලා මේ වෙනතෙක් කරලා නැ. එත් මේ පාර නං එහෙම නැහැ. විණා මේ පාර නීලා ට කලින් කසාද බදින්න යන්නේ.
ඉතින් මේ කසාද බදින්න විණා ගත්ත තීරණය හරිම ප්‍රෙහෙලිකාවක් උනා . එකක් වීණා යන්තම් අවුරුදු 24 උනා විතරයි. තාම රැකියාවක් කරන්නෙත් නැ. රැකියාවකට යන්න සුදුසුකමක් හදා ගෙනත් නෑ . ඔක්කොටම වඩා දුලන්ත මුණ ගැහිල තාම මාස දෙකක්වත් නෑ. ශ්‍රියානි ගේ මහත්තය නැවක වැඩ කරන්නේ. ඉතින් මාස 6 කට සැරයක් තමයි ගෙදර එන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට සීතා නංගි එක්ක කතා බහ කරලා තමයි ශ්‍රියාණි වැඩ කරන්නේ. " ඔය මුහුදේ දුක් විදින මනුස්සයාගේ ඔලුවට මේ හැම දෙයක්ම දාන්න පුලුවන්ද "කියල ගොඩක් වෙලවට අක්කා නගෝ දෙන්න පවුලේ දේවල් කතා කර ගන්නවා. එත් මේ පාර එකත් බෑ . වීණා ගේ ලොකුම කොන්දේසිය වෙඩින් කාඩ් බෙදනකන් පුන්චිලාට කිසි දෙයක් කියන්න බැ කියන එක. මේ හැම දෙයක්ම වෙන්නේ නුහුරට නිසා ශ්‍රියානි හිටියේ ලොකු පීඩනයක.
වීණා වෙඩින් එකේ කටයුතු එයාට ඕනි විදිහට කරන්න පටන් ගත්තම ශ්‍රියාණි ගේ ඔලුව තව විකාර උනා . සමහර දේවල් වලට කරන වියදම් වැඩි නැද්ද අහන්න ගිහින් අන්තිමට ගෙදර එකම කාලගෝට්ටියක් උනා. මේ මොනවත් ගැන කිසිම ගාණක් තිබ්බේ නැත්තේ වෙන්න බෑණා දුලන්ත ට විතරමයි. එයා මේ ඔක්කොම මැද්දෙ ක්‍රිකට් මැච් බැලිල්ලයි යාලුවෝ එක්ක අතන මෙතන යන එකයි නං ගානට කරගෙන ගියා. ශ්‍රියාණිලගේ ගෙදර ආවත් වැඩිපුර කරේ තමරි එක්ක වීඩියෝ ගේම් ගහන එක තමයි.
මේ ඔක්කොම හැසිරීම් වලින් හෙම්බත් වෙලා හිටපු ශ්‍රියාණි ට දෙලොව රත් උනේ විණා ප්‍රි ෂුට් එකට කරන්න හදන වියදම දැකල
" ඔයාට පිස්සුද පුතේ මෙච්චර වියදමක් මේ පොඩි වෙලාවකට "
" පොඩි? කොහෙද පොඩි වෙනම ඇල්බම් එකකුත් හදල වෙඩින් එක වෙලාවේ ලස්සනට හෝල් එකේ ප්‍රසන්ට් කරනවා. ඒවා නැතුව වෙඩින් ගන්නේ කවුද අම්ම මේ කාලේ " වීණා කතාව පටන් ගත්තෙම නොරුස්නාවෙන්.
"හරි හරි ඒත් මෙච්චර ගාණක්. මොකට ද මේ තැන් හතරකට ගිහින් ෂූට් කරන්නේ . මේ එකක් හපුතලේ යන්නත් දාගෙන." ශ්‍රියාණි ඉන්වොයිස් පත දිහා බලාගෙන කිවේ කම්මුලට අතකුත් තියාගෙන.
"ඔව් ඉතින් බදින්නේ එක පාරයි. එක මට ඕන විදිහට හොදටම වෙන්න ඕන. "
" මෙහෙම මගුල් කරන්න නං තාත්තාට නැවේ වැඩ කරලා විතරක් මදි නැවක් විකුනන්නත් වෙයි " තමරි කතාවට එකතු වෙමින් කිවේ වීණා තවත් තරහ ගස්සවමින්.
" ඔයාලාට ඕනි හැමදාම මාව පාච්චල් කරන්න. මම කරන හැම දේම සවුත්තු කරන්න. මට නීලා ට කලින් මැරි කරන්න ඕන. එයාට ගන්න බැරි විදිහේ වෙඩින් එකක් ගන්න ඕන.එයාටයි පුංචිටයි පේන්න " වීණා කියාගෙන යද්දී අන්තිමට හැඩුම් ස්වරයක් එකතු උනා කට හඩට.
" මම කිව්වේ... මම කිව්වේ අම්මේ, මේ පාර නීලා අක්කා කොපි කරන එක අත ඇරලා එයත් එක්ක තරග කරන්න පටන් අරන්. යසයි වැඩේ. ඔයාට අක්කේ මොහොතකට ඕව අත ඇරලා පොළොවේ පය ගහලා තීරණ ගන්න බැරිද ?"
" මේ තීරණ ගත්තේ පය ගහල තමයි"
" ඔව් ඔව් ඔයා නං පය කොහේ හරි ගහගෙන ඉන්නවා ඇති. මගේ මස්සිනා නං ඔහේ පාවෙනවා. ඉස්සර වෙලා ඌව බිමට අරන් ඉන්න වෙයි " තමරි කිවේ සමච්චල් හිනාවක් එක්ක.
" එක නං පුතේ ඇත්ත. ඒ ළමයට මේ කිසි දෙයක ගානක් නැනේ. ඒ ළමයාගේ දෙමවපියන්ට වගකුත් නැ. ඔයා මේ මොනවා කරගන්න හදනවා ද කියල මට තේරෙන්නේ නෑ "
අම්මලා දුලා ගේ කතාව නැවතුනේ එක පාරටම නීලා යි නිලාගේ අම්මයි ගෙදර ට ඇතුළු වෙනවා දැක්කම.
"අක්කේ මොකද මේ සද්දේ පාරට ඇහුන කට්ටියගේ බර කතාව" නිලාගේ අම්ම ප්‍රියා සාලෙට ගොඩ උනේ එහෙම කියාගෙන.
"අපි පුංචි එහෙම තමයි බරසාර කතා කරන්නේ." තමරි කිවේ හිනා වේවි. වීණා නං හිටියේ තමන් කිව්වා දේවල් නිලලට අහුඅනද දන්නේ නැහැ කියල දෙගිඩියාවෙන්.
" නංගි ගොඩ දවසකින් මේ පැත්තේ. මෙච්චර ලග ඉදලත් මම නීලා දුව දැක්කේ මාස ගානකට පස්සේ ද කොහෙද !"
" ඔව් අක්ක පහු ගිය ටිකේ මෙයා හිටියේ නැ. ෆයිනල් එක්සැම් තිබ්බ නේ. දැන් ඔක්කොම ඉවර වෙලා ලොකු අම්මලට සුභ ආරංචියක් කියන්න ඇවිත් ඉන්නේ "
ඒ පාර නං වීණා ගේ කන් දෙකත් රත් උනා.` එයත් බදින්න යනවා කියන්නද යන්නේ? `
නීලා හරිම ලජ්ජාවෙන් හිනා වෙලා " නෑ ලොකු අම්මේ මම රට යනවා. හයර් ස්ටඩිස් වලට ඔසී යන්න ස්කොලේර්ශිප් එකක් ලැබුණා"
වීණාගේ හිත මොහොතින් ඉරිසියාවෙන් පිරිලා ගියා. හැබැයි ඒ එක්කම හිතුන දැන් රට ගිහින් එනකොට නාකි වෙලා තමයි මගුල් ගන්න වෙන්නේ කියලා. සමහර විට කසාද නොබැදම ඉන්නත් ඉඩ තියෙනවා කියල හිතන කොට කට කොනින් පොඩි හිනාවකුත් ගියා.
" මෙයා මේ කියනව ඉතින් යන්න ඉස්සර ලොකුවට නැති උනත් පොඩිවට වෙඩින් එක ගන්න ඕන කියලා. ඉතින් ලබන මාසේ නැකත් දවසට අපේ ගෙදර පවුලේ අය එකතු වෙලා වැඩේ කරමු කියල තමයි අපි කතා උනේ"
ඒ පාර නං විණාට අහසේ තරු දවල් පෙන්න ගත්තා . " ක .. ක ..කවද්ද කවද්ද වෙඩින් එක ? " විණා ඇහුවේ සැහෙන කලබලයකින්
"ලබන මාසේ 15 " නීලා කිව්වේ හිනා වේවි.
"ඒ කියන්නේ ඔයා මට කලින් .." විණගේ ඇස් කදුළු වලින් පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ. හිතේ තියන තරහ දුක ඉරිසියාව ඔක්කොම එකතු වෙච්ච් කදුළු කම්මුල් දිගේ බේරෙන්න පටන් ගත්තා. හැමෝම තුෂ්නිම්භූත වෙලා වීණා දිහා බලන් ඉන්නකොට ඒ කදුළු වල නියම අරුත තේරුනේ තමරිට විතරයි

මගේ කතා කියවන්න, රසවිඳින්න ආව ඔබ සැම සාදරයෙන් පිළිගනිමිKumuduni Dhanapala, Nirosha Ranasinghe, Shehani Anjana, Navodya M...
20/08/2025

මගේ කතා කියවන්න, රසවිඳින්න ආව ඔබ සැම සාදරයෙන් පිළිගනිමි

Kumuduni Dhanapala, Nirosha Ranasinghe, Shehani Anjana, Navodya Marasinghe, Indra Kumari, Saman Annasiwatte, Samadhi Piyasoma, Gayathri Peiris, Kalani Bandara

වෙස් පෙරළි හවස ප්‍රවෘත්ති ගියාට පස්සේ රන්ජනී රේඩියෝ එක නිමලා දැම්මේ බැටරි කෑල්ල පරිස්සන් කරගන්න ඕන නිසා.පහු ගිය දොහේ නෑන...
15/08/2025

වෙස් පෙරළි

හවස ප්‍රවෘත්ති ගියාට පස්සේ රන්ජනී රේඩියෝ එක නිමලා දැම්මේ බැටරි කෑල්ල පරිස්සන් කරගන්න ඕන නිසා.පහු ගිය දොහේ නෑනා එක්ක අල්ලපු අඩව්වෙන් පස්සේ රන්ජනී වැඩිපුර උන්නේ පරණ කුස්සියේ වෙනම උයාගෙන. නිදා ගන්න විතරයි අලුත් කෑල්ලට ගියේ. දවල්ට නෑනා කොහොමත් ගෙදර නැති නිසා රන්ජනී තමන්ගේ රාජ්ජේ වගේ හිටියට නෑනා ඉස්කෝලේ ඇරිලා එනකොට හෙමිට ගොලුබෙල්ලා වගේ පරණ කුස්සි කෑල්ලට රිංගා ගන්නවා. රේඩියෝ එක වහලා දැම්මමට පස්සේ අවට රැහැයි සද්දෙට අමතරව අලුත් කෑල්ලේ ටිවි එකේ සද්දෙත් මුණූ මුණුවක් වගේ ඇහෙනවා. රන්ජනී කොහොමත් ටීවි බැලිල්ලට එච්චර ආසාවක් නෑ. හෙලවෙන රූප දිහා බලන් ඉන්න කොට රන්ජනීට නොදැනීම නින්ද යනවා.

කල්පනා ලෝකේ හිටිය රන්ජනී ට යාන්තමට ඈතින් අහුනේ කවුරු හරි පාර දිගේ සිංදුවක් කියගෙන එන සද්දයක්.ඒත් එක්කම බල්ලෝ ඒ සින්දුවට තාල අල්ලන සද්දයක්. ඊට පිලිතුරු විදිහට අමු තිත්ත කුණුහරුප වැලක්. මේ සද්ද ඔක්කොම හෙමින් හෙමින් රන්ජනී ලාගෙ ගේ පැත්තට කිට්ටු වෙන කොට රන්ජනී දන්නවා ඒ එහා ගෙදර දාබරේ කියලා. දාබරේ බීන්න බැහැලා ඉන්නේ උඩහගෙදර දෙවෙනි කෙල්ල දීපා එක්ක. දාබරේ ගේ කල් කිරියාවේ හොද කම නිසාම උඩහාගෙදර උදවිය දාබරේටයි දීපාටයි ඉක්මනට ගෙවල් කෑල්ලක් හදවලා දීලා රනජනීලාගේ අල්ලපු ඉඩමේ පදිංචි කරා. උඩහ ගෙදර උදවියට සල්ලි බාගේ තිබ්බ නිසා එහෙම දෙයක් කරලා හරි දීපාගෙන් නිදහස් වෙච්ච එක හොදයි කියලා හිතනවා ඇති. මොකද දීපාට මී මැස්මොරේ හැදෙනවා විටින් විට. ඒ මදිවාට ඇහේ පොඩි වපරයක් තියෙනවා. කතාවෙත් පොඩි ගොත ගතියක් තියෙනවා. එකම දේ උඩහ ගෙදර හැමොම වගේ දීපාත් සුදුම සුදුයි. ඒ නිසා දීපාට කැමති වෙන්න ඇති. දාබරේ කොහෙන් දීපාව හොයා ගත්තද ? නැත්තන් උඩහගෙදර අය දාබරේ කොහෙන් හොයා ගත්තද කියන්න දන්නේ නැ. දාබරේ කරේ වෑල්ඩින් වැඩ. කුණු වෙන්න ගහලා හවස් වෙනකොට කුණු හරුප වපුර වපුර ඇවිත් දීපාට තඩි බාලා නිදා ගන්න එක තමයි සතියේ වැඩි හරියක් උනේ. කොහොමහරි මේ දෙන්නට පොඩි කොලු පැටව් දෙන්නෙකුත් ඉන්නවා.
දීපා එක්ක බැලුවාම රන්ජනී කිසිම අපුලක් නැතිව යසට මනුස්සයෙක් එක්ක යන්න තිබ්බ ගෑණියෙක්. ලොකු අයියටවත් මල්ලිටවත් කිසිම උවමනාවක් තිබ්බේ නෑ පවුලේ එකම සහෝදරීව පිලිවෙලක් කරන්න. අම්මා ඉන්න කාලේනන් මනමාලයෝ කීප දෙනෙක් ගෙන්නලා කතා බහ කරාට ඒවා අවසානයක් කරන්න මනමාල පාර්ශවයෙන් ඉදිරිපත් උනේ නෑ. පොඩි පරහකට තිබ්බේ රන්ජනී කිසිම ගෑණු ගතියක් පෙන්නේ නැති ගෑණියක්. කොටින්ම කිව්වොත් ලොකු අයියට ගවුමක් අන්දලා ගත්තොත් දෙන්නා නිවුන්නු වගේ ඉදිවී. ඉතින් හැම මගුලම හබක් වෙලා අන්තිමට රන්ජනී පරණ කුස්සි කෑල්ලට සින්න උනා.

දාබරේ ගේ සද්දේ හෙමින් හෙමින් ඇවිත් අල්ලපු ගේ අස්සට රින්ගුවා. දැන් ඊලග පියවර පිලිවෙලින් , දීපා ගුටි කෑම, ළමයි ලතෝනි දීම. අල්ලපු ගෙදර සෝමපාල ගිහින් දාබරේට බැනීම , දාබරේ සෝමපාලට බැනීම ,දීපා දෙන්නා බේරන්න මැදට පැනීම සහ දීපා නැවත ගුටි කෑම. මේ සිද්ධි ටික අනුපිලිවෙලට සිද්ද උනාම නැවත පරිසරය නිශ්ශබ්ද වෙනවා සහ සතියකට දෙපාරක්වත් මේ සිද්දිය නැවත සිදු වෙන එක ගමේ දැන් සාමාන්‍ය දෙයක්.

රන්ජනී ලොකු හුස්මක් අරන් පරණ කුස්සියේ ජනේලය වහන්න ගියේ දීපාගේ ලතෝනි සද්දය ඇහෙන්න පටන් ගන්න කොටම වගේ. රන්ජනීට කෙලින්ම දීපලා ගෙදර ජනේලෙන් පේනවා. ජනේලයට අත තියෙන කොටම රන්ජනී දැක්කා දීපලා ගෙදර වෙනදා නැති එලියක්. ගේ ඇතුලේ එහෙට මෙහෙට ගිනි බෝලයක් වැනෙනවා වගේ. රන්ජනීට තේරුනා කවුරුහරි ගේ ඇතුලේ ගින්නකට අහු වෙලා කියලා. කෑ ගහන්න වත් සිහියක් නැතිව දුවගෙන ගියේ පොඩි උන් දෙන්නා මතක් වෙලා.

රන්ජනී දුවගෙන යන කොට ගිනි ගන්න දීපාගේ සරීරේ එක පාරටම ගෙයි පිලිකන්නෙන් එලියට වැටිලා මිදුල දිගේ රෝල් වෙලා ගියා. රන්ජනී මිදුලේ ඉදන් පුලුවන් තරම් කෑ ගැහුවා. මිනිස්සු ඇවිත් ගෝනි පඩංගු වැලි වතුර හැම දේකින්ම ගහලා දීපාගේ ගින්න නිමලා දැම්මා. ඊට පස්සේ ඉස්පිරිතාලෙට උස්සන් ගියා. මේ ඔක්කොම වෙනකන් දාබරේ කරේ ගෙයි පිලේ වැටිලා අඩපු එක. රනජනී කලේ පොඩි උන් දෙන්නා තුරුල් කරන් ඉන්න එක. මිනිස්සු ආපහු තම තමන්ගේ ගෙවල් වලට ගියාට රන්ජනීට පොඩි උන් දෙන්නා දාලා යන්න හිතුනේ නෑ.

“මුකුත් කෑවද පුතේ?” රන්ජනී ඇහුවේ ලොකු කොල්ලාගෙන්. අඩලා අඩලා හෙම්බත් වෙලා පොඩි එකාට එහෙම්ම නින්ද ගිහින්. කොල්ලව උස්සලා ඇදෙන් තියලා රන්ජනී කුස්සිය පැත්තට ගියා. දීපා රෑට සොයා මීට් එක්ක අල හදලා තිබ්බා. ලොකු එකාට බත් කටවල් දෙක තුනක් බලෙන්ම කවලා එයාව ඇදට එක්කන් ගියාම ආයේ අම්මා ඕන කියලා අඩන්න පටන් ගත්තා. කරන්න දෙයක් නැති පාර රන්ජනී එහෙම්ම කොල්ලව තුරුල් කරන් ඇල උනා.

උදේ වෙනකොට දැනගන්න ලැබුණා පිච්චුන තුවාල නිසාම දීපා පරලොව ගිහින් කියලා. දවල් වෙන කොට පොලීසියෙන් දාබරේ අරන් ගියා මරණයට සැක පිට. රනජනීගෙනුත් සාක්ශි ගත්තා ඇසින් දුටු කෙනෙක් විදිහට. රන්ජනී වැඩි විස්තර කියන්න ගියේ නෑ. ජනේලයෙන් දැක්කා දීපා මිදුලේ වැටිලා ගිනි ගන්නවා. එ නිසා ඒ පැත්තට දුවගෙන ගියා කියලා විතරයි කිව්වේ. දාබරේ කියලා තිබ්බෙත් කුප්පි ලාම්පුව අරන් ඒලියට යන කොට පය පැටිලිලා වැටෙන්න ඇති කියලා. දාබරේ සිහියෙන් නෙමෙයි හිටියේ කියන්න සාක්ශි ඕන උනේ නෑ.

උඩහ ගෙදර අය චාමෙට මළ ගෙදර කටයුතු ඉවර කරා. මිනිය තිබ්බේ සීල් කරලා. අන්තිම මොහොතේ දාබරේ පොලිස් අත්තඩංගුවේ ඉන්න ගමන් පාංශකූලේ වෙලාවට ආවා. මළ ගෙදර කටයුතු ඉවර වෙනකන් පොඩි උන් දෙන්නා හිටියේ රනජනී පිටි පස්සෙන්මයි. ඒ දෙන්නා උඩහ ගෙදර අය එක්කවත් වැඩිය එකතු නෑ. උදේ හවා දකින නිසා රන්ජනී එක්ක හරිම එකතුයි.
මළ ගෙදර ඉවර උනාම උඩහ ගෙදර අය උනත් එච්චර හාරා ඇවිස්සුවේ නෑ පොඩි උන් දෙන්නට මොකද කරන්නෙ කියලා. රන්ජනීට පොඩි දෙන්නා හරිම එකතුයි නේද කිය කියා හැමෝම මේ වෙලාවේ මග ඇරියා. රනජනිත් වැඩි විස්තර අහන්න ගියේ නෑ. පොඩි දෙන්නා තමන්ගේ වගකීමක් කියලා හිතන් භාර ගත්තා. ලොකු අයියා නං විරුද්ධව වචනයක් කියන්න ගියේ නෑ. එයාට කියලාවත් කරගන්න බැරි දෙයක් සිද්ද උන නිසා. නෑනා නං ගමේ කීප දෙනෙක් එක්ක බොරු අකැමැත්තක් පෙන්නලා තිබ්බා. ඒ උනාට ඒ මූනිච්චාවට කියලා හැමෝම දැනන් හිටියා.

අන්තිමට කොහොම හරි රන්ජනී දීපලා ගෙදර පදිංචි උනා. පොඩි දෙන්නගේ රාජකාරී ඔක්කොම උන් දෙන්නාගේ අම්මා වගේ කරා. උඩහ ගෙදරින් කන්න බොන්න දේවල් ටිකයි අතට පොඩි ගානකුයි සති දෙකකට සැරයක් ලැබුනා. ඒක පිරිමහගෙන පොඩි දෙන්නට කවලා පොවලා නාවලා සනීපෙට තියා ගත්තා.

ඔය අතරේ තමයි දාබරේ නිදහස් වෙලා ආවේ. ඇසින් දුටු සාක්ශි නැති නිසාත් දීපා මැරුනේ අධික පිලිස්සුම් තුවාල නිසාත් දාබරේ නඩුවෙන් නිදහස් උනා. දාබරේ ආපු එක රනජනී ට සැහෙන්න අපහසුවක් උනා. ආපහු ගෙදර යන්න බැරි බවත් මේ දේට කවදා හරි මුහුණ දෙන්න වෙන බවත් රන්ජනී දැනන් උන්නාට ඇත්තටම සිද්ද වෙනකොට තමයි ඒකෙ අපහසුව දැනුනේ. හොදකට තිබ්බේ දාබරේ රන්ජනී එක්ක වචනයක් වත් කතා කරේ නැති එක. දාබරේ පිලිකන්න පැත්තේ කාමරේ නිදා ගත්තා. සුපුරුදු විදිහට වෑල්ඩින් වැඩ පොලේ රාජකාරී පටන් ගත්තා, ගෙදරට කෑම බීම ගෙනාවා. කිසිම කතාවක් නැතුව කුස්සියේ මේසේ උඩ සල්ලි කීයක් හරි තියලා ගියා. වෙනසක් උනා නන් උනේ උඩහ ගෙදරින් ලැබුන සලාක මල්ලයි නෝට්ටු කීපයයි නතර උන එක තමයි.
කිසිම හැලහොල්මනක් නැතුව ගෙවුන දවස් හිටි අඩියේම වෙනස් උනේ ආයෙත් පාර දිගේ දාබරේ ගේ සින්දු සද්දේ ඇහෙන්න පටන් ගත්ත දවසේ. බල්ලෝ උනත් කාලෙකට පස්සේ ඇහෙන ගායනයට සම්පූර්ණ සහයෝගේ දෙන්න පටන් ගත්තා. රනජනී හිටියේ පොඩි උන් දෙන්නට බත් කව කවා. ඊලග මොහොත මොනවයින් මොනවා වෙයිද ?

දෙගිඩියාවෙන් හිටියට ඒ බවක් නොපෙන්නවා දිගටම කොල්ලෝ දෙන්නට බත් ගුලි කැව්වා. සින්දු සද්දේ ගෙදර උලුවස්ස ගාවට ඇවිත් නතර උනා. “ මම බය වෙයි හුහ්.. මගේ බල්ලාවත් බය නෑ. දන්නවද හුහ්.. මම බය නෑ” කිය කිය දාබරේ දෙපැත්තට වැනෙනවා. “ කවුද කියන්නේ මම බයයි කියලා... හහ්.. බය ... “ දාබරේ ගේ කටින් කුණු හරුප දෙක තුනක් පිට වෙන කොටම රනජනී රවලා බැලුවා. “ කාටද උඹ රවන්නේ හෑ” කියලා දාබරේ ගහපු පයින් පාරට බත් පිගාන උඩ ගිහින් විසි උනා. පොඩි උන් දෙන්නා මර ලතෝනි දුන්නා. රන්ජනීගේ මූණ පුරා විසිරුනු බත් ඉදුල් අස්සෙන් වැනි වැනී ඉස්සරහට එන දාබරේ ලාවට පෙනුනා. අත මිට හොදින් මොලොවලා දත් මිටි කාගෙන රන්ජනී දාබරේ ගේ මූණ හරහා දුන්න පාරට දාබරේ උඩ විසිවෙලා ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටුනා.

කිසි දෙයක් සිද්ද නොවුන ගානට රන්ජනී බත් ඉදුල් අතු ගාලා පිරිසිදු කරලා කොල්ලෝ දෙන්නවත් පිලිවෙලක් කරලා නින්දට දැම්මා. රන්ජනීත් කාලා බීලා නිදා ගන්න කොට දාබරේ කුස්සියේ හට්ටි මුට්ටි අදින සද්දේ ඇහුනා. රන්ජනී තදින් ඇස් දෙක පියා ගත්තේ ඔන්න ඔහේ ඕන එකක් කර ගත්ත දෙන් කියලා.

පහුවදා උදේ බලනකොට දාබරේ කෑම කාලා පිගාන විතරක් නෙමේ හට්ටි මුට්ටි ටිකත් හෝදලා නවලා තියලා. මෙව්වා නේ වෙස් පෙරලි කියලා හිතන ගමන් රන්ජනිට කට කොණට හිනාවක් ඇදුනා.

ඉස්කෝලේලලිතා හැමදාම මට පෙට්ටි කඩෙන් ‘පොල් කන්දක්’ අරන් දෙනවා. පොල් කන්ද කියන්නේ මැද පොල් තියෙන වටේම චොක්ලට් වලින් වැහිච්...
15/08/2025

ඉස්කෝලේ

ලලිතා හැමදාම මට පෙට්ටි කඩෙන් ‘පොල් කන්දක්’ අරන් දෙනවා. පොල් කන්ද කියන්නේ මැද පොල් තියෙන වටේම චොක්ලට් වලින් වැහිච්ච කන්දක් වගේ හදපු චොක්ලට් ජාතියක්. ඒවා රතු, කොළ , නිල් ,කහ පාට දිලිසෙන කොළ වල ඔතලා තියෙන්නේ.ඒවා පෙට්ටි කඩේ බෝතලේක දාලා තියෙන්නේ. කඩේ මාමා හැමදාම අහනවා බාබාට මොන පාටද ඕනි කියලා. හැබයි කවරේ මොන පාට උනත් ඇතුලේ තියෙන චොකලට් එකම රහ. ඉස්කෝලේ ඇරුන ගමන් ලලිතා මට පොල් කන්දක් අරගෙන දීලා එක්කන් එන්නේ ඇයි කියලා මට පස්සේ තෙරුනේ. එතකොට මගේ කියවිල්ල නවතිනවානේ. ගෙදර එනකොට පොල් කන්ද කාලා ඉවර කරනවා. නැත්තන් අම්මා බණිනවා කඩ චෝරු කනවා කියලා.

අපි හිටියේ අත්තම්මලාගේ ගමේ ගෙදර. අපේ අම්මලා හැදුවේ මාව ටවුමේ ඉස්කෝලෙකට දාන්න. ඒකට මොනාද ලියුම් ගොඩක් ඕනලු. අපේ අම්මා තාම ලොකු නැන්දට බණිනවා. එයා ගෙදර ඇඩ්ඩ්‍ර්ස් එක දුන්නානන් මාව ලොකු ඉස්කෝලෙකට දාන්න තිබ්බලු. එතකොට අපි ඒ ගෙදර පදිංචි කියලා ඔප්පු කරන්න තිබ්බලු. එයාගේ නපුරු කමට අපිට උදව් කරේ නෑලු. අම්මෝ මමනන් ඒ ගෙදර පදිංචි වෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ. එයාගේ නපුරුකම කෙසේ වෙතත් මට මතක් වෙන්නෙම එයාගෙ ගෙදර ඉන්න නපුරු බල්ලෝ දෙන්නව. දවසක් එක බල්ලෙක් මගේ ඇගටත් පැන්නා. එතකොට ලොකු නැන්දාගේ පුතයි දුවයි දෙන්නම මට හිනා උනා.

ඒ උනාට මට ටවුමේ ඉස්කෝලෙට එන්න කියලා ලියුමක් ආවා. යන්න තියෙන දවසට කලින් අම්මලා මාව එක ගෙදරකට එක්කන් ගියා. ඒක ගොඩක් පොඩි ගෙදරක්. ඒ ගෙදර ඉස්සරහ ලොකු කාණුවක් තිබ්බා. ඒ කාණුවේ ගදට මට කලන්තේ වගේ ආවා. ඒ ගෙදර නපුරු බල්ලෝ හිටියේ නන් නෑ. හැබයි හරිම රස්නෙයි. අම්මා කිව්වා ලොකු ඉස්කෝලේ ටීචර් ඇහුවොත් ඒ ගෙදර ඉන්නේ කියන්න කියලා. මම හා කිව්වා. අම්මා දිගටම ඒ ගෙදර තියෙන දිහාව මට පාඩම් කෙරෙව්වා. හොද වෙලාවට ටවුමේ ඉස්කෝලේ ටීචර් මගෙන් ඉන්නේ කොහෙද කියලා ඇහුවේ නෑ. ඇහුවානන් මට මතක තිබ්බෙත් නෑ ඒ ගෙදර නම. එයා ඇහුවේ මගේ මොන්ටිසෝරියේ නම. මම ගියේ අපේ ගම කිට්ටුව තියෙන ඉංග්‍රිසි මොන්ටිසොරියට. ඒක කොහෙද තියෙන්නේ කියලානන් ඇහුවා. මම ඒ ටීචර් අහපු හැමදේටම හරියටම උත්තර දුන්නත් මම ඒ ඉස්කෝලෙට තෙරුනේ නෑ. ඒ නිසා අන්තිමට අම්මලා මාව ගමේ ඉස්කෝලෙට දැම්මා.

අම්මානන් කිව්වේ ලොකු ඉස්කෝලෙකට දානකන් ගමේ ඉස්කෝලෙට යන්න කියලා. අප්පච්චි මහන්සි වෙනවලු මාව ලොකු ඉස්කෝලෙකට දාන්න. මොකට මහන්සි වෙනවද මන්දා. මේ ඉස්කෝලේ හරිම ශෝක්. එකේ ලොකු පිට්ටනියකුත් තියෙනවා. ඉස්කොලේ ගාව පෙට්ටි කඩේ පොල් කදුත් තියෙනවා. මට යලුවෝ ගොඩකුත් ඉන්නවා. මගේ හොදම යාලුවා හේශානි. එයා එක්ක මම පිට්ටනිය වටේ රවුමක් යනවා හැමදාම. එහෙම යනකොට පිට්ටනියෙ එක මුල්ලක මදටිය ඇට වැටිලා තියෙනවා. අපි ඒවා අහුලලා ටීචර්ට ගෙනත් දෙනවා. ටීචර් අපිට හොදයි කියනවා. ගණන් වෙලාවට අපි ඒවා ගොඩවල් වලට වෙන් කරලා ගණන් ඉගෙන ගන්නවා.

අත්තම්මා දවසක් කිව්වා හේශානිලා “හකුරෝ”කියලා. මම ඇහුවා “හකුරො කියන්නේ කාටද” කියලා. හකුරු හදන මිනිස්සුන්ටලු. “ඉතින් අත්තම්මාත් හකුරු හදනවානේ. එතකොට අත්තම්මා හකුරෝ ද?” කියලා ඇහුවාම අත්තම්මා මට තරවටු කරා. “ කට කට පැහිච්චකන් කතා කරන්න එනවා” කියලා මට බැණලා ඇම්මටත් බැන්නා මාව ගමේ ඉස්කෝලෙට දැම්මා කියලා. හේශානි ඉන්ටවල් එකට කන්න සමහර දවස්වලට ලැවරිය ගේනවා. මටත් කෑල්ලක් දෙනවා. ඒවා හරිම රසයි. මම ඉතින් ඇහුවා ඔයාලා ගෙදර හදන පැණි හකුරු එහෙම දාලාද මෙව්වා හදන්නේ කියලා. එයා කිව්වා එයාගේ තාත්තා පැණි ගෙනාවේ කඩෙන් කියලා.

හකුරෝ උනාට ශෙහානිලා ගෙදර හකුරු හදන්නේ නෑ. එයාලා හකුරු ගන්නේ කඩෙන් කියලා කියන්න ගිහින් ආයෙත් මම බැණුන් ඇහුවා. හැබැයි බැන්නේ එක එක්කෙනාගේ කෑම කනවා කියලා. අත්තම්මා කිව්වා අපි ඒ ගෙවල් වලින් වතුර උගුරක්වත් බොන්නේ නෑ කියලා. මම වතුරනන් බොන්නේ නෑ . මොකද මම වතුර බෝතලයක් ගෙනියනවනේ. ඒක කියන්න ගිහින් මම අම්මාගෙනුත් බැණුම් ඇහුවා එකට එක කියනවා කියලා. ඉක්මනටම මාව වෙන ඉස්කෝලෙකට දානවා කිව්වා.

ඊට පස්සෙ ගෙදර ලොකුම ප්‍රශ්නේ උනේ දවසක් මම කිව්වා මල්ලි බබාට “ පු*ක*ට දෙන්නේ දෙකක්” කියලා. අපේ අම්මට ඇහුන ගමන් මගේ කට මිරිකුවා. මගේ ඇස් වලින් කදුලු පැන්නා. මම හූ තියලා අඩන්න පටන් ගත්තා. ජරා ඉස්කෝලෙට ගිහින් ජරා වචන ඉගෙන ගෙන ඇවිත් කියන්වා කියලා මගේ පිටටත් ගැහුවා. මෙච්චර කල් මම දැනන් හිටියේ ජරා ගද, ජරා කෑම ජරා ඇදුම් වගේ දෙවල් විතරයි. එදා තමයි දැනගත්තේ ජරා වචන කියලා දෙයක් තියෙනවා කියලා. මම හවස් වෙනකොට භයේ හිටියේ අම්මා අප්පච්චිට කියලා මට හොද ගුටි ටිකක් හම්බවෙයි කියලා . ඒ උනාට උනේ අනික් පැත්ත. අම්මා අප්පච්චිට හොදට බැන්නා. වැඩට යනවයි ගෙදර එනවයි විතරයි. ළමයා ඉස්කෝලේකට දාන්න කිසි දෙයක් කරන්නේ නෑ කියලා. හැමදාම වගේ ලොකු නැන්දාටත් බැන්නා පදිංචිය දුන්නේ නෑ කියලා. ඊට පස්සේ අප්පච්චි අම්මට බැන්නා ඔලුව කන්න එපා කියලා. අම්මා රෑට කැවෙත් නෑ. මට අන්තිමට තෙරුනා පු*ක* කියන්නේ සෑහෙන ජරා වචනයක් කියලා.

ශෙහානි එක දිගට බදාදා ඉදන් දවස් තුනක් ඉස්කෝලේ ආවේ නෑ. මට ගොඩක් පාලු හිතුනා. ශෙහානිට උණ හැදෙන්න ඇති. මම ගොඩක් දුකෙන් සිකුරදා ගෙදර ආවේ. මට එදා පොල් කන්ද කන්න හිතුනෙත් නෑ. ඔහේ ලලිතා එක්ක ගෙදර ආවා. ශෙහානි ඉන්න ගෙදර දන්නෙත් නෑනේ. දැනගත්තට ඉතින් යන්නත් බෑනේ. අපි ඒ ගෙවල් වලට යන්නේ නෑ කියලා අත්තම්මා කිව්වනේ. කමක්නෑ සදුදා එයිනේ කියලා මට හිතුනා.

ගෙදර ගිහින් ඇදුම් මාරු කරන කොට මට ඇහුනා ලලිතා අත්තම්මා එක්ක කතා වෙනවා “ මැණිකේ දන්නවද අර කිරි සන්දාගේ මිණිපිරි ටවුමේ බාලිකාවට දාලානේ ඊයෙ ඉදන්. මම දැක්කා ඊයෙ අලුත් සුදු ඇදුමක් ඇදලා ටයි එකකුත් දාලා හවස එනවා. අපේ සුදු බේබිගේ හොදම යාලුවානේ. ඔය යාලුවා නැති නිසා නේ මූණ එල්ලන් ඉන්නේ”
“කොහොම දාගත්තද දන්නේ නෑ. අපේ මේ සුදු බෙබිව දාන්න කොච්චර දැගලුවාද ?”
“ ඔය කිරිසන්දාගේ බාල පුතා ඇමති කෙනෙක් ගාවනේ ඉන්නවා කියන්නේ. එහෙන් ලියුමක් අරන් ඉස්කෝලෙට දැම්මා කියලා තමයි කියන්නේ”
අත්තම්මා සද්ද නැතුව අහන් ඉන්නවා.

ඒ කියන්නේ ශෙහානි ආයේ ගමේ ඉස්කෝලෙට එන්නෙ නෑ. මගේ කම්මුල් රිදෙන්න පටන් ගත්තා. නහය දැවිල්ලක් වගේ ඇවිත් ඇස් දෙකෙන් ලොකු කදුලු ගුලි දෙකක් බිමට වැටුනා. මට ඒ ලොකු ඉස්කෝලෙ මතක් උනා. ලොකු බිල්ඩින් පිරිච්ච මල් ගස් හිටවපු, උස සිමෙන්ති කණු, ලොකු පිට්ටනි තියෙන ඉස්කෝලේක, ටයි එකක් දාගෙන ශෙහානි අලුත් යාලුවෝ එක්ක ඇවිදිනවා පෙනුනා. මට ලොකු නැන්දා එක්ක තරහක් ආවා. එයා පදිංචිය දුන්නානන් මේ මුකුත් වෙන්නේ නෑනේ.

දෙවෙනියා “හලෝ මදාරා. . සුදු ස්කර්ට් එකක් නැද්ද උඹ ගාව?” නිලුපා කතා කරලා ඇහුවේ මම මළ ගෙදර යන්න ලෑස්ති වෙන කොට.“ ම්ම්ම් සු...
15/08/2025

දෙවෙනියා

“හලෝ මදාරා. . සුදු ස්කර්ට් එකක් නැද්ද උඹ ගාව?” නිලුපා කතා කරලා ඇහුවේ මම මළ ගෙදර යන්න ලෑස්ති වෙන කොට.
“ ම්ම්ම් සුදු රැලි රැලි එකක් තියෙනවා. කමක් නැද්ද? කාටද? උඹටද?”
“නෑ සාවිත්‍රිට”
“හ්ම්ම් ගේන්නන්”
ඇමතුම විසන්දි කරලා මම කබඩ් එක ඇරලා, හෝදලා නමලා අරන් තියපු සුදු දිග රැලි ස්කර්ට් එක දාගන්න බෑග් එකක් හොයන කොට තමයි අම්මා කාමරේට ආවේ.
“ලෑස්ති වෙලා ඉවරද? මොනාද ඔය හොයන්නේ?”
“මේ ස්කර්ට් එක දාගෙන යන්න බෑග් එකක් අම්මා”
“ කාටද ස්කර්ට් එක?” අම්මා ඇහුවේ ඇදේ මෙට්ටය උස්සලා, එක අස්සේ නමලා අරන් තියපු ටියුලිප් බෑග් එකක් අතට දෙන ගමන්.
“ සාවිත්‍රිට”
අම්මාගේ මූණට නිකම්ම අවඥ්ඥාව මුසු වෙච්ච හිනාවක් ඇදුනා. “හම්ම්... ඒ ළමයා ගාවනන් මරණ ගෙදරකට අදින්න හොද ඇදුමක් නැතුව ඇති. අර අදින යන්තම් පස්ස වැහෙන ඇදුම් ඇදගෙන තමන්ගේ අප්පගේ මළ ගෙදර ඉන්න පුලුවනෑ”.
අම්මා කොහොමත් සාවිත්‍රිට කැමති නැත.
සාවිත්‍රි, මම, නිලුපා අපි එක වසරේ එක පේලියට වාඩි වෙලා හිටපු යාලුවෝ තුන් දෙනා. එක වසරේ ඉදන් පහ වසර වෙනකන් එකට හිටපු යාලුවෝ. මම ශිෂ්‍යත්වය ඉහලින්ම පාස්වෙලා නගරේ බාලිකාවකට ගියා. නිලුපා යන්තම් පාස් වෙලා පලාතේ මධ්‍ය මහා විද්‍යාලයට ගියා. සාවිත්‍රි විභාගේ ෆේල් උනා. ඒ උනාට හතර වසර වෙනකන් පන්තියේ හිටපු දක්ෂම ළමයා සාවිත්‍රි. සාවිත්‍රි පලවෙනියා, මම දෙවෙනියා.
ඒ දවස මට හොදට මතකයි. හවස රත්නාවලී ටීචර් ගේ ශිෂ්‍යත්ව පන්තිය වෙලාවේ සාවිත්‍රිගේ මාමා ආවා. ටීචර් එක්ක මොනාද කුටු කුටු ගෑවා. ඊට පස්සේ ටීචර් හරිම ආදරෙන් සාවිත්‍රිට කතා කරලා ගෙදර යන්න කිව්වා. සාවිත්‍රි පොත් ටික බෑග් එකට දාගෙන ගෙදර ගියා. අපි පන්ති ඉවර වෙලා ගෙදර යනකොට සාවිත්‍රිලාගේ ගෙදර මිනිස්සු පිරිලා. සාවිත්‍රිගේ අම්මා වස බීලා ලු. හොස්පිට්ල් එකට අරන් ගියාම මැරිලලු. සාවිත්‍රිගේ අම්මා ගැන මිනිස්සු එක එක කතා කිව්වා. සාවිත්‍රිගේ අම්මාගේ මළ ගෙදර අපි හැමෝම ගියා. සාවිත්‍රි අපි එක්ක සෙල්ලම් කරා. අපි එන මිනිස්සුන්ට බිස්කට් ඇල්ලුවා.” අම්මා නැති වෙලා ඉන්නේ කියලා ගානක්වත් නැ. අනේ පොඩි එකීනේ” කියලා හැමෝම කතා උනා. මිනිය උස්සනකොටවත් , පාංශකූලේ දෙනකොටවත් , මිනිය පුච්චනකොටවත් සාවිත්‍රි ඇඩුවේ නෑ. මම සාවිත්‍රිගේ මූණ දිහා බලාගෙන හිටියා. දැන් අඩයි දැන් අඩයි කියලා. සාවිත්‍රි ඇඩුවෙම නෑ.
ඊට මාස තුනකට පස්සේ ශිෂ්‍යත්ව විභාගේ තිබ්බා. සාවිත්‍රිගේ අම්මාගේ තුන් මාසේ දානෙත් තිබ්බා. හැබැයි අම්මා මාව එක්කන් ගියේ නෑ. විභාගේ අස්සේ තෙරපන්න හොද නෑ කියලා. අපි විභාගේ කරා. සාවිත්‍රිත් කරා. ප්‍රතිඵල ආවම ඉස්කෝලේ ටීචර්ලා පවා බැන්නේ සාවිත්‍රිගේ අම්මට. සාවිත්‍රි අඩුම ගානේ පාස් ලකුණ ගාවට වත් ලකුණු අරන් තිබ්බේ නැ. පොඩි කෙල්ලගේ ජීවිතේ විනාශ කරලා ඒ ගෑණිත් විනාශ උනා කියලා හැමෝම කිව්වා. සාවිත්‍රි ගමේ ඉස්කෝලේ නතර වෙද්දි අපි දෙන්නා වෙන ඉස්කෝල වලට ගියා. නිලුපායි සාවිත්‍රි නන් නිතර හම්බ උනා. මට වැඩිය ඒ දෙන්නා මුණ ගැහුනේ නෑ. මුණ ගැහෙන්න ඉඩක් තිබ්බෙත් නෑ. අපේ අම්මා සාවිත්‍රි එක්ක එකතු වෙනවට වැඩිය කැමති උනෙත් නෑ. මමත් සාවිත්‍රිව මග ඇරලා ඉන්න පුරුදු උනා. කොහොමත් මම නගරේ බාලිකාවට යන්න පටන් ගත්තම ගමේ දේවල් වලින් ඈත් උනා.
සාවිත්‍රි සාමන්‍ය පෙළ කරලා නිලුපා යන ඉස්කෝලෙටම ඇතුළු උනා. ඒ දෙන්නම උසස් පෙලට කලා විෂය කරා. මම කරේ වාණිජ්‍ය. අපි තුන්දෙනාම එක ආර්තික විද්‍යා පන්තියේදී ආපහු හම්බුනා. නිලුපා මගෙත් එක්ක පුරුදු ලෙන්ගතුකමට හිටියට සාවිත්‍රිගෙයි මගෙයි සම්බන්දේ සෑහෙන්න පලුදු වෙලා තිබ්බා. සාවිත්‍රි සමහර වෙලාවට මගේ හිත රිදෙන විදිහේ කතා කිව්වා. හින්ට් ගැහුවා. නිලුපා මගෙන් ඈත් කරන්න බැලුවා. මට කොහොමත් බාලිකාවේ යාලුවෝ හිටපු නිසා ඒ දෙන්නා ආශ්‍රය කරන්න ලොකු උවමනාවක් තිබ්බේ නෑ. හැබැයි ගෙදර යද්දී එද්දී ගොඩක් වෙලාවට මට ඒ දෙන්නා හම්බ උනා. ඒ නිසා කතා කරන්න සිද්ද උනා.
කොහොමහරි උසස් පෙළ ඉවර වෙලා ප්‍රතිඵල එන්නත් කලින්ම සාවිත්‍රිගේ තාත්තා නිදි ඇදේම නැති උනා. මළ ගෙදර ඉදන් නිලුපා කතා කරලා සුදුපාට ස්කර්ට් එකක් ඉල්ලුවේ සාවිත්‍රි ගාව මළ ගෙදරකට අදින්න සුදුසු ඇදුමක් තිබ්බේ නැති නිසා. සාවිත්‍රි ඇන්දේ ගොඩක් ඇග නිරාවරණය වන සංකර ඇදුම්. කොට ගවුම් ස්කර්ට් වගේ ඒවා. පහුගිය දවසක ත්‍රී වීල් පාර්ක් එකේ අය හූ කියලා, එහෙම කොට ඇදුමක් ඇදගෙන යන කොට. සාවිත්‍රි ඒවා අපි එක්ක කියන්නේ හිනා වෙවී. ඒත් මගෙන් ඇදුමක් ඉල්ලන්න තරම් මගෙත් එක්ක සම්බන්දයක් තිබ්බේ නැති නිසා මට පුදුමත් හිතුනා.
මළ ගෙදර දවසේ සාවිත්‍රි මගේ ස්කර්ට් එක ඇදගෙන ඉන්නවා මම දැක්කා. ඒක මට වඩා සාවිත්‍රිට ගැලපෙනවා කියලා මට මොහොතකට හිතුනා. අම්මාගේ මළ ගෙදරදි වගේම මේ පාරත් සාවිත්‍රි ඇඩුවේ නෑ. සමහර වෙලාවට යාලුවෝ එක්ක හිනා වෙවී ඉන්නවත් මම දැක්කා. මට සාවිත්‍රිට වගේ දෙයක් උනානන් මම එතනම මැරෙයි කියලා මට හිතුනා.
මළ ගෙදරින් පස්සේ සවිත්‍රි නිලුපා එක්ක ස්කර්ට් එක දෙන්න අපේ ගෙදර ආවා. ඊට පස්සේ නිතර අපේ ගෙදර යන්න එන්න පටන් ගත්තා. මුලින් නිලුපා එක්ක ආවත් පස්සේ තනියම එන්න ගත්තා. අම්මත් සාවිත්‍රි එන එකට මුකුත් කිව්වේ නෑ. මොකද සාවිත්‍රිට ගෙදර දොරේ වැඩ හොදට පුලුවන්. එයා ආවම දකින ඕන වැඩක් අම්මට කරලා දෙනවා. පොල් ගාලා දෙනවා, මිදුල අතු ගානවා, සමහර වෙලාවට කඩේ ගිහින් බඩු එහෙමත් ගෙනත් දෙනවා. ඒක නිසාම සාවිත්‍රි එනවට අම්මත් කැමති උනා.
මට කිසි දවසක ගෙදර වැඩ මුකුත් කරන්න අම්මා ඉඩ දුන්නේ නෑ. ඒ නිසාම මට වැඩ කරලා පුරුද්දක් තිබ්බෙත් නෑ. කරොත් ඒකෙ මොකක් හරි අඩු පාඩුවක් කියන්න පටන් ගත්තා. සමහර වෙලාවට අම්මා මාව සාවිත්‍රිට සංසන්දනය කරන්න ගත්තා. මේක මට පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ. මෙච්චර කල් මට ලැබුන ආදරය අවධානය තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න මම කොහොමත් කැමති උනේ නෑ. ඒ මදිවට සාවිත්‍රි වගේ කෙනෙක් මගේ තරගකාරියෙක් විදිහට දකින්න මම ආසා උනෙත් නෑ. ඒ නිසාම සාවිත්‍රි මුල් කරගෙන අම්මයි මායි අතර පොඩි පොඩි රණ්ඩු ඇති උනා.
මේ අතර මම විද්‍යා පීඨයට තේරුනා. සවිත්‍රිනන් පාස් උනේ එක විෂයයි. ආපහු විභාගේ කරන්න කැමැත්තක් නෑ කියලා බියුටි කල්චර් කෝස් එකක් කරන්න ඕන කියලා කිය කියා හිටියා. කොහොමහරි මම ගෙදරින් ඈත් වෙලා උන්න කාලේ සාවිත්‍රි අපේ ගෙදරට සෑහෙන්න කිට්ටු උනා. කොටින්ම සාවිත්‍රි අපේ අම්මට නැතුවම බැරි කෙනෙක් උනා. සාවිත්‍රි බියුටි කල්චර් කරාට කවදාවත් සැලුන් එකක වැඩට ගියෙත් නෑ. සැලුන් එකක් දැම්මෙත් නෑ.
විද්‍යා පීඨ පුහුණුව ඉවර වෙලා මට පත්වීම ලැබුනේ දුෂ්කර පලාතකට. එහෙ බෝඩිමක නතරවෙලා මම ඉස්කෝලේ වැඩ කරන් හිටියා. මේ අතර අපේ අම්මලා මට මගුල් හොයන්න පටන් ගත්තා. කොහොමහරි ඔහොම හොයලා තමයි ධනුශ්ක මට යෝජනා උනේ. ධනුශ්ක වැඩ කරේ කොළඹ. අපි ගෙවල් වලට එන්නේ සති අන්තේ නිසා ගොඩක් වෙලාවට ධනුශ්ක මාව බලන්න ගෙදර ආවා. හැබැයි අපිට නිදහසේ කතා කරන්න හම්බුනේ නෑ සාවිත්‍රි නිසා. මොකක් හරි කියාගෙන සාවිත්‍රි අපි දෙන්නා කතා කර කර ඉන්නකොට එනවා. එක්කෝ කෑමක් උස්සන් එනවා. නැත්තන් ඒ අවට මොකක් හරි වැඩක් පටන් ගන්නවා. මේ වැඩේ කරන්න බැරි නිසා අපි දෙන්නා ගෙදරින් පිට හම්බවෙන්න තියා ගත්තා. එහෙම හම්බ වෙනවට අපේ ගෙදරින් එච්ච්ර කැමති උනේ නෑ.ඒ නිසා අම්මලා අපේ වෙඩින් එක ඉක්මන් කරා.
කොහොමහරි වෙඩින් එකට දින දාගත්තට ඒ කිසිම දෙයක් ගැන ධනුශ්ක එච්චර උනන්දු නැති බව මට ටික කාලයක් යනකොට තේරුනා. ඉස්කෝලේ වැඩයි වෙඩින් එකේ වැඩයි නිසා මම හිටියේ ලොකූ පීඩනයක. ඒ නිසාම මට ධනුශ්කගේ මේ හැසිරීම එක්ක සෑහෙන්න තරහ ගියා. නිතර අපි දෙන්නා ෆෝන් එකෙන් බැණ ගත්තා.
ඔය අතර එක දවසක් අම්මා කතා කරලා කිව්වා සාවිත්‍රි පැනලා ගිහින් කියලා. ඒ ආරංචිය අහපු ගමන් ඇත්තටම මට සතුටු හිතුනා. හැබැයි මම පස්සේ දැනගත්තේ පැනලා ගිහින් තියෙන්නේ මගේ ධනුශ්ක එක්ක කියලා. ඒ මදිවට සාවිත්‍රිට දරුවෙක් ලැබෙන්නත් ඉදලා. මට පොළොව පලන් යන්න හිතුනා. අම්මලාටත් මම හොදටම බැන්නා. මම පස් කෑවේ නැති ටික විතරයි. මට ලැජ්ජාව දුක පීඩනය ඉවසන්නම බැරි උනා.
මම හිටපු ඉස්කෝලෙට වඩා තවත් දුෂ්කර වෙන්න තියෙන පොඩි ඉස්කෝලෙකට මාරු උනා. එහේ ගුරු නිවාසෙක පදිංචි උනා. ගෙදර යන එක හොදටම අඩු කරා. නිවාඩුවට විතරක් මම ගෙදර ගිහින් ඉක්මනට ආපහු ගුරු නිවාසෙට එන්න පුරුදු උනා.
මට දැන් වයස හතලිස් අටක්. මම ඊට පස්සෙ කවදාවත් මගුල් හොයනවට කැමති උනේ නෑ.කොටින්ම කසාද බදින්න හිතුවෙත් නෑ. එදායින් පස්සේ සාවිත්‍රිටයි ධනුශ්කටයි වෙච්ච දෙයක් දන්නෙත් නෑ. මම හෙව්වෙත් නෑ.
ගුරු නිවාසේ තනියම ඉන්න ගමන් මම වෙලාවකට හිතනවා එදා සාවිත්‍රිගේ අම්මා මැරුණෙ නැත්තන්, සාවිත්‍රී ශිෂ්‍යත්වේ පාස් උනානන් මේ හැම දෙයක්ම වෙනස් වෙයි නේද කියලා.

Summer එක officially ඉවර වෙලා හැමෝම තම තමන්ගෙ පුරුදු ජීවිතේ පටන් අරගෙන. අලුත් semester එකට අලුත් පංතියට යන්න පොඩි දෙන්නා...
13/08/2025

Summer එක officially ඉවර වෙලා හැමෝම තම තමන්ගෙ පුරුදු ජීවිතේ පටන් අරගෙන.

අලුත් semester එකට අලුත් පංතියට යන්න පොඩි දෙන්නාට තිබ්බේ ලොකු excitement එකක්. මේ එ දෙන්නගෙ අවසාන පාසල් වසර. මේ අවුරුද්ද ඉවර වෙන කොට එ කියන්නේ ලබන අවුරුද්දෙ මැයි මාසේ එ දෙන්න Secondary school graduate වෙනවා.

මෙහෙ ක්‍රමය අනුව පාසල් අධ්‍යාපනය අවුරුදු 16 න් ඉවරයි. ඊට පස්සේ තිරණය කරනවා high school යනවද නැත්තන් වෘත්තිය අධ්‍යාපනය ට යොමු වෙනවද කියලා. එ තිරණය ගන්න ඉස්කොලේන් වෙනම සහයක් දෙනව. ඒකට වෙනම කාලච්ජේදය ක් වෙන් කරලා තියෙනවා. එ period එකේ ගොඩක් වෙලාවට දරුවගෙ personality එක ගැන පොඩි පොඩි ටෙස්ට් සංවාද වෙනවා. ගුරුවරු එ කතාබහ වලදී දැන ගන්න දේවල් සටහන් කරගන්නවා. ඕනි නං තනියම career counselling ගුරුවරයා හම්බ වෙලා guidances ගන්නත් පුළුවන්.
මම දන්නේ නෑ එ දෙන්නා මොන වගේ තිරණ ගනී ද කියලා. මොන වෘත්තිය තෝරා ගනීද කියලා. එ දේවල් වලට අනවශ්‍ය විදිහට ඇඟිලි නොගහ නිදහසේ තීරණ ගන්න පුළුවන් වෙන වටපිටාව ක් අපේ ගෙදර තියෙන්නේ.

කාලෙක ඉදල මම ලියන හෑලි වෙනම පිටුවක් හදලා පොස්ට් කරන්න හිතන් හිටියට වැඩේ උනෙම නෑ . පස්සේ හිතුව මම මීට අවුරුදු 5 කට උඩදී හ...
11/08/2025

කාලෙක ඉදල මම ලියන හෑලි වෙනම පිටුවක් හදලා පොස්ට් කරන්න හිතන් හිටියට වැඩේ උනෙම නෑ . පස්සේ හිතුව මම මීට අවුරුදු 5 කට උඩදී හදපු මේ page එක පාවිච්චි කරන්න. මොකද තව කල් ගත්තොත් මම ලියන එක අත අරිනවා.

ලියනවා කිව්වට මම එහෙම ලියන්න පොරක් නෙමේ. ලියනවා කියන එක ස්කිල් එකක්. එක වැඩි දියුණු කරගන්න නං ලියන්නම ඕන. හැබැයි සමාජ මාධ්යේ ලියනවා කියන්නේ දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හැබැයි හොද අභියෝගයක්.

මම ඉතින් අමුතු නමක් දාගෙන page එක හැදුව . Life Lightly Roasted. හොදටම කර වෙන්නේ නැතුව ලාවට කර වෙමු

Osoite

Helsinki

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Life Lightly Roasted :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Jaa