23/01/2024
ලංකාවේ පොලිස් නිළධාරීන් බොහෝමයක් දෙනා සිතා සිටින්නේ තමන් ලැයිසන් චන්ඩීන් කියා ය. එම පොදු පොලිස් මානසිකත්වයට සමහර පොලිස්පතිවරුන් රාජකාරි කරන සමයන්හිදී තටු ලැබෙයි. සමහර චන්ඩි නියෝජ්‍ය පොලිස්පතිවරුන් චන්ඩි සහකාර පොලිස් අධිකාරීවරුන් යම් යම් ප්‍රදේශවලට එහි ප්‍රධානීන් සේ පත්වී පැමිණිවිට එම ප්‍රදේශයේ රාජකාරි කරන පොලිස් පොඩ්ඩන්ගේ අර මුලින් කී පොදු පොලිස් මානසිකත්වයට තටු ලැබෙයි. ඔවුන් ඊටපසු රඟන්නේ පාතාලයේ චන්ඩීන් වගේය. මෙම තත්ත්වයට ඕනෑ තරම් උදාහරණ සොයාගන්නට අමාරු නැත. සමහර ජනාධිපතිවරුන්ගේ කාලවලදීද පොලීසියේ මෙම හැසිරීම ඉස්මතුවෙන ආකාරය අප දැක ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාල දෙකේදී පොලිසියේ හැසිරීම සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ පොලිස් නිළධාරීන්ගේ හැසිරීම අවශ්‍ය නම් උදාහරණ ලෙස සලකා බැලිය හැකිය.
මෙන්න මේ පසුබිමේ තබා මෙම හිසට වෙඩි තැබීම තේරුන් ගත යුතුය. දැන් මාසයකට ආසන්න කාලයක් රට තුළ ‘යුක්තිය’ නමින් පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. එම මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාගේ මැදිහත්වීමෙන් ය. මෙම මෙහෙයුම පටන් ගත් පසු ප්‍රසිද්ධ මාධ්‍යට පැමිණ මේ දෙදෙනා කියමින් සිටින්නේ කුමක්ද?
ඔවුන් කියමින් සිටින්නේ තමන්ට මානවහිමිකම්, මානව අයිතිවාසිකම් අදාළ නැති බවයි. තමන් ඒවා පිළිගන්නට සූදානම් නැති බවයි. එසේ ප්‍රකාශ කරමින් ඔවුන් දිගින් දිගටම ප්‍රකාශ කළේ පොලීසියේ පහළ නිළධාරීන් වෙනුවෙන් තමන් සිටින බවය. එනිසා මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔවුන් වෙහෙස විය යුතු බවය. එසේ කියමින් ඔවුන් පොලීසියේ පහළ නිළධාරීන් ‘යුක්තිය’ නමින් වූ යුද්ධයකට සූදානම් කර ඇත.
මෙන්න මේ නව තත්ත්වය තුළ මා පෙරකී පොදු පොලිස් මානසිකත්වයට නැවතත් තටු ලැබී ඇත. මේ හේතුව නිසා වර්තමානයේ සාධාරණය පතාගෙන පොලීසි වෙත යන සිවිල් පුද්ගලයන්ට නොයේක් අතවරයන්ට තාඩන පීඩනවලට ලක්වන්නට සිදුවී ඇත. මෙම නව තත්ත්වය තුළ බොහෝ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් බොහෝ සේ සැරවී ඇත. ස්ථානාධිපති එසේ සැරවෙන විට පහළින්ම සිටින සැරයන් කෙසේ සැරවෙනු ඇතිද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලීසිය භාර ඇමති ටිරාන් අලස් වර්තමානයේ පොලීසිය පත්කර ඇති තත්ත්වය මෙයයි. මෙයට සමාජයෙන් සහ අන්තර්ජාතිකව විශාල විරෝධයක් එල්ලවුණත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවමත් ඒ විරෝධය ගානක් නැත. සමහරවිට ඔහු එම විරෝධයේ හඬට සවන් දෙන්නේ නැතිව සිටිනවා වන්නට පුලුවන් ය. එයට හේතුව ඉදිරියේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැමිණීම වන්නට පුලුවන් ය.
https://onetext.org/articles/sinhala/2024/01/23/9627