13/10/2026
දේශපාලනයට යට නොවී සත්යය විමසූ මල්වතු මහා නාහිමියෝ..
දේශපාලන පක්ෂයක ප්රකාශ සාක්ෂි නොමැතිව පිළිගත යුතුද? යන මූලික ප්රශ්නය, අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ සන්සුන් නමුත් තීක්ෂණ ප්රති ප්රශ්නයකින් ඉස්මතු කළහ.
එය කිසිදු දේශපාලන කඳවුරකට හිස නැමීමක් නොවේ. එය සංඝ නායකත්වය විසින් රැකිය යුතු "ස්වාධීනත්වය" යන්නට කදිම උදාහරණයකි.
මහා සංඝරත්නය යනු තුට්ටු දෙකේ දේශපාලන පක්ෂයක ප්රචාරක අංශයක් නොවේ. සංඝයා වහන්සේගේ වගකීම ජනතාවට ධර්මය පෙන්වාදීම, නීතිය හා සදාචාරය සුරක්ෂිත කිරීමට උපදෙස් දීම සහ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් ස්වාධීනව කථා කිරීමයි. ඇතැම් දේශපාලන පක්ෂ සිතන්නේ සංඝයා වහන්සේ යනු තම දේශපාලන පක්ෂයේ ප්රචාරක ඒකකය කියාය.
දේශපාලකයකු මහා නාහිමියන් බැහැදැකීම ආගමික ගෞරවයක් ලෙස පිළිගත යුතුය. නමුත් එම හමුවේදී ඔවුන්ගේ බංකොලොත් දේශපාලන කතාවලට ස්වයංක්රීය අනුමැතියක් උන්වහන්සේගෙන් බලාපොරොත්තු නොවිය යුතුය.
එවැන්නක් සිදු වුවහොත් සංඝයා වහන්සේගේ ස්වාධීන හඬ දේශපාලන උපකරණයක් බවට පත්වේ. මහා නාහිමිපාණන් වහන්සේ එම අවදානම මැනවින් වටහාගෙන සිටින බව පෙනේ.
උන්වහන්සේ කිසිවකුට පක්ෂපාතී නොවී, ප්රකාශය සහ සාක්ෂිය අතර වෙනස ප්රශ්න කළහ. එය සංඝ නායකත්වයට තිබිය යුතු අත්යවශ්ය ගුණයයි, ගුණාංගයයි.
සමගි ජන බලවේගයේ නියෝජිතයන් මහා නාහිමිපාණන් වහන්සේ හමුවේ රජයට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල කළහ. පෙරහැර නවත්වන බවට ඉදිරිපත් කළ අදහස් හා මාලිගාවට බෝම්බ ප්රහාරයක් එල්ල කළ බවට රජයට එරෙහිව එල්ල කළ චෝදනාවද මෙහිදී සාකච්ඡාවට විෂය විය.
මහා නාහිමියෝ එම චෝදනාවලට කිසිදු පක්ෂයක් වෙනුවෙන් හඬ නැගුවේ නැත. ඒ වෙනුවට, පෙර පැවති බියගැන්වීමක් සැබැවින්ම සිදු නොවූ විට, නව තර්ජනයක් කෙසේ තහවුරු කරන්නේද යන්න විමසූහ. මෙය සරල ප්රශ්නයකි. නමුත් එහි ඇත්තේ ගැඹුරු දේශපාලන පාඩමකි.
දේශපාලන වේදිකාවල නිකුත් වන සෑම චෝදනාවක්ම සත්යයක් නොවේ. එය සත්යයක් බවට පත්වන්නේ සාක්ෂි, තහවුරු කිරීම් සහ වගකීම් සහිත විමර්ශන වලින් අනතුරුවය.
මහා නාහිමිපාණන් වහන්සේ කිසිවකුගේ චෝදනාව වහාම ප්රතික්ෂේප නොකළහ. එසේම එය සත්යයක් ලෙස වහාම පිළිගත්තේද නැත. උන්වහන්සේ ගත්තේ මැද මාවතයි. මධ්යස්ථභාවය යනු එයයි.
එය බුද්ධිමත් නායකත්වයක ලක්ෂණයයි. සැබෑ බුද්ධ පුත්රයෙකුගේ විනය ගරුක බවයි.
දේශපාලන කතාවකට කඩේ නොගොස්, කරුණු මත පිහිටා විනිශ්චය කරන සංඝ පීතෘවරයකුගේ ස්වරයයි.
දේශපාලනඥයාගේ කාර්යය ජනතාව තමන්ගේ පාර්ශ්වයට ඈඳා ගැනීම වුවත් භික්ෂුවගේ කාර්යය එය නොවේ. භික්ෂුවගේ කාර්යය සත්යය, ධර්මය සහ ජනතාවගේ දිගු කාලීන යහපත ඉස්මතු කිරීමයි, ඒ වෙනුවෙන් කටයුතු කිරීමයි.
මහා නාහිමිපාණන් වහන්සේ හඬ උස් නොකළහ. කිසිවකුට අපහාස නොකළහ. දේශපාලන පක්ෂයක නම කියා ප්රහාරයක් එල්ල නොකළහ. උන්වහන්සේ කළේ එක් ප්රශ්නයක් ඇසීම පමණි. එහෙත් එම ප්රශ්නය දේශපාලන සංවාදයට අවශ්ය මූලික නීතිය සිහිපත් කළේය.
කී පමණින් යමක් සත්ය නොවේ. බියක් නිර්මාණය කළ පමණින් අනතුර තහවුරු නොවේ. පක්ෂග්රාහී කතාවක් ජාතික විනිශ්චයක් නොවේ. තීන්දුවක් ගත යුත්තේ කරුණු, සාක්ෂි සහ සැබැවින්ම සිදුවූ දේ මත පදනම්වය.
මෙය රටේ දේශපාලන සංවාදයට අවශ්ය වන ප්රවේශයයි. අවශ්ය වන්නේ කටකතා නොව සාක්ෂි සහිතව තහවුරු කිරීමයි. බියගැන්වීම් නොව කරුණු සහිතව ඔප්පු කිරීමයි. කෑගැසීම් නොව තර්කානුකූලව කරුණු ගෙනහැර දැක්වීමයි. අවසාන බලාපොරොත්තුව පක්ෂග්රාහී නොවන ස්වාධීන විනිශ්චයයි.
මල්වතු මහා විහාරය යනු සුන්බුන් දේශපාලන පක්ෂයක උපදේශක කාර්යාලයක් නොවේ. එය සියවස් ගණනාවක් පුරා සම්බුද්ධ ශාසනයේ උරුමය, සම්ප්රදාය සහ ජාතික වගකීම රැකගත් උත්තරීතර ආයතනයකි.
පදවියේ වැඩසිටින මහා නාහිමියන්ට සියලු දේශපාලනඥයන්ට සහ දේශපාලන පක්ෂවලට සවන් දිය හැකිය. නමුත් කිසිදු පක්ෂයක හඬ බවට පත්විය නොහැක. එය මූලධර්මයකි.
අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ මෙම අවස්ථාවේදී ආරක්ෂා කළේ එම ස්වාධීනත්වයයි. දේශපාලනඥයන්ගේ මුහුණ බලා ඔවුන් කැමති දේ නොකියා, තර්කානුකූල සත්යය සන්සුන්ව ප්රකාශ කිරීම උන්වහන්සේගේ විශිෂ්ටත්වයයි.
ආණ්ඩුවේ වරදක් තිබේ නම් එය සෘජුව පෙන්වා දිය යුතුය. විපක්ෂයේ අතිශයෝක්තියද ප්රශ්න කළ යුතුය. අද රටට අවශ්ය වන්නේ කිසිදු දේශපාලන පක්ෂයක වහලෙකු නොවන මහා සංඝරත්නයයි. බංකොලොත් දේශපාලන ව්යාපාරවල ඉත්තෙකු නොවන මහා සංඝරත්නයයි.
අද රටට අවශ්ය වන්නේ දේශපාලනඥයන්ගේ පුහු වචන ජනතාව වෙත රැගෙන යන භික්ෂූන් නොව, දේශපාලකයාටත් සත්යය සහ වගකීම මතක් කර දෙන භික්ෂූන්ය.
බුදු දහමේ දසරාජ ධර්මය පාලකයාගේ, නායකයාගේ සාධාරණත්වය, සීලය සහ ජනතා යහපත ඉස්මතු කරයි. එබැවින් ධර්මයේ නායකත්වය දේශපාලන ලාභයට යට නොවිය යුතුය.
දේශපාලන කඳවුරුවලට නොබෙදී, කිසිවකුගේ වචන අන්ධව පිළිනොගෙන, සන්සුන්ව සහ තර්කානුකූලව සත්යය විමසූ අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමිපාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
දේශපාලකයන්ට අවශ්ය පිළිතුර නොව, රටට අවශ්ය සත්යය පවසන මෙවැනි සංඝ නායකත්වය චිරාත් කාලයක් සුරැකේවා... !!