Green Lanka smoothy

Green Lanka smoothy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Green Lanka smoothy, Food & Drink, ja/ela/gampaha, Gampaha.

🌱කැඳ වර්ග භාවිතයේ වැදගත්කම 🌱===================================ශාකසාර වල අපරිමිත ගුණය මිනිස් ශරීරයට ලබාගැනීමට පහසුම සහ ස...
29/04/2023

🌱කැඳ වර්ග භාවිතයේ වැදගත්කම 🌱
===================================

ශාකසාර වල අපරිමිත ගුණය මිනිස් ශරීරයට ලබාගැනීමට පහසුම සහ සුදුසුම ආකාරයක් ලෙස කැඳ වර්ග භාවිතය දැක්විය හැකිය. උදෑසන කැඳ කෝප්පයකින් ආරම්භ කරන දිනයක ඇති ප්‍රාණවත් බව සහ ශක්තිය ඉතා ඉහළය. අතීතයේ මෙරටට පැමිණි විදේශිකයන් කිරිපිටි පානය ප්‍රචලිත කිරීම පිණිස කැඳ වර්ග භාවිතය නිවට ක්‍රියාවක් සේ සැළකීමට උත්සාහ කරන ලදී. නමුත් සැබෑ ලෙස සැළකූ කළ දේශීය කැඳ වල අඩංගු ගුණයන් මෙතකැයි කියා විග්‍රහ කොට අවසන් කිරීම අසීරු කාර්‍යයකි. අතිතයේ මෙරට ජීවත් වූ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවේ පොළොව තුළ වැඩෙන පැළෑටි සහ ශාක ගණනාවකින් ගුණවත් සහ රසවත් කැඳ වර්ග පිළියෙළ කරගැනීමට තරම් දක්ෂ වූහ.
වර්තමානයේ ද, සාමාන්‍යයෙන් ඕනෑම ගෘහණියක් කැඳ වර්ග සෑදීමට දනී. නමුත් ඒවායේ පෝෂ්‍ය ගුණ කෙතරම් අඩංගු වේද යන්න බොහෝදෙනා අවදානයට ලක් නොකරන කරුණකි. මෙහි දැක්වෙන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන ඉතා පහසුවෙන් සාදාගත හැකි කැඳ වර්ග කිහිපයක් පිළිබඳව වැඩි පිරිසක් නොදන්නා තොරතුරු ය.

1.කොළ කැඳ

මෙය ශාකසාර ආශ්‍රිතව ඉතාම පහසුවෙන් සාදාගත හැකි කැඳ වර්ගයයි. ලංකාවේ ජනතාව ඉතාම ප්‍රියකරන සහ ඕනෑම අයෙකුට පහසුවෙන් සාදාගත හැකි පානයකි. කොළ කැඳ වල පොදු ගුණාංග ලෙස කුසගින්න, පිපාසය දුරුකිරීම, ශරීරගතව පවතින වාත අමාරු සමනය කිරීම, ආහාර මාර්ගයේ ආමාශය, අග්න්‍යාශය සහ අන්ත්‍ර ප්‍රදේශ පිරිසිදු කිරීම ආදිය හැඳින්විය හැකිය. එසේම මලමූත්‍ර පිටකිරීම සහ බහිස්‍රාවය සම්බන්ධ ගැටළුකාරී තත්ව සුවකිරීම, විෂ හරණය, ශරීර ශක්තිය වර්ධනය, මහන්සිය නැති කරවීම, සම පැහැපත් වීම, ධාරණ ශක්තිය වැඩිවීම වැනි වාසි රැසක් කොළ කැඳ භාවිතයෙන් ලැබේ. එසේම ඒ ඒ කොළ වර්ගවල පවතින ඖෂධීය ගුණ කොළ කැඳ මගින් ශරීරයට ලබාගත හැකිය. එනම් මෙහි ඇති ගුණාත්මක බව ඉතා විශාල පරාසයක විහිද පවතී. ඕනෑම නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයක පහසුවෙන් සොයාගත හැකි කොළ වර්ගවලින් කැඳ සාදාගත හැකිය.

කොළ කැඳ සඳහා බහුලවම යොදාගන්නා කොළ වර්ග

•ගොටුකොළ -කැස්සට, පණු රෝග, සෙම් රෝග, ශරීරයේ දැවිල්ල ආදී රෝගවලට, ධාරණ ශක්තිය වැඩිකිරීමට. එමෙන්ම ඇස්වල ක්‍රියාකාරීත්වයට, සම පැහැපත් කිරිමට, මූත්‍ර මාර්ගයේ ආසාදන වලට, කිරි දෙන මව්වරුනට, රක්ත වාතය, අතීසාරය, දියවැඩියාව, ඇදුම, ප්‍රදාහය, අක්මා රෝග වලට සහ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ගුණදායක වේ.
• හාතාවාරිය කොළ – වා පිත් රෝග සඳහා, මවුකිරි වැඩීමට, ශරීර ශක්‌තිය වැඩීමට, සමට සහ හිසකෙස් වලට, හෘද ක්‍රියාකාරීත්වයට
• පොල්පලා කොළ – මූත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා
• කරපිංචා කොළ – මේද බිඳහෙලීම, පණු රෝග, ඇස්‌ පෙනීම වැඩි කිරීම, සර්ප ගෝනුසු ආදී විෂ වලටද කරපිංචා කැඳ විශේෂයෙන් යොදාගනී.
• වැල්පෙනල කොළ – ලිංගික ශක්තිය වැඩි වීමට, ශුක්‍ර ක්‍රියාකාරීත්වයට, ස්ත්‍රීන්ගේ ආර්තවය ක්‍රමවත්ව පවත්වාගැනීමට
• මොනරකුඩුම්බිය කොළ -උණට, මූත්‍ර ගල් දියවීමට, පණු රෝග සඳහා
• ඉරමුසු කොළ – වා පිත් සෙම් දෝෂ සඳහා, රුධිරය පිරිසිදු කරවීමට,කුෂ්ඨ රෝග සඳහා
• ලුනුවිල කොළ – හිසකෙස් පැසීම වැළැක්වීමට, රුධිරය පිරිසිදු කිරීමට
එමෙන්ම පහත සඳහන් කොළ වර්ග සියල්ලම ද කැඳ සෑදීම පිණිස යොදාගත හැකිය.
වැල් තිබ්බටු කොළ • රණවරා කොළ • එළබටු කොළ • කුප්පමේනියා කොළ• නීරමුල්ලිය (ඉකිරිය) කොළ • විශ්ණු ක්‍රාන්තිය කොළ • නිල් කටරොළු දළු කොළ • නෙලුම් දළු කොළ • දියබෙරලිය කොළ • කොහිල කොළ • දියමෙනේරිය කොළ • කීකිරිඳිය කොළ • හීං බෝවිටියා කොළ • එරබදු කොළ • ඔළිඳ කොළ • දිවුල් කොළ • කෝන් කොළ • රත්කරල් හැබ කොළ • කිරි අගුණ කොළ • සුදු කටරොළු කොළ • මුකුණුවැන්න කොළ • පොල්පලා කොළ • කතුරුමුරුංගා කොළ • බෙහෙත් අනෝදා කොළ • බටකිරිල්ල කොළ • යකිනාරං කොළ • ගොනික කොළ • තැල් කොළ • නික කොළ • විලඳවැන්න කොළ • පේර දළු කොළ •අලිගැටපේර දළු කොළ • හීන් උඳුපියලිය කොළ • තෝරකොළ දළු • කහඹිළියා කොළ • කෝවක්කා කොළ
මෙකී කොළ වර්ග එකක් හෝ කිහිපයක් එකට එකතුකර කැඳ සාදාගත හැකිය. එහිදී එකී කොළ වර්ගවල ගැලපීම පිළිබඳව සැලකිලිමත් වීම වටී. මේ සඳහා ගන්නා කොළ ඉතා පිරිසිදු බවට සහතික කරගැනීම ද කළ යුතුම වේ. එසේම එකම කොළ වර්ගයක කැඳ, දිගින් දිගටම කාලයක් පානය කිරීමෙන්ද ගැටළු ඇතිවිය හැකිය.

2.කුරක්කන් කැඳ

ශ්‍රී ලංකාවේ දේශීය ආහාර රටාවේ මුල්තැනක් ගන්නා ධාන්‍ය වර්ගයක් වන කුරක්කන් ආශ්‍රයෙන් සාදාගන්නා කැඳ, ජනප්‍රිය මෙන්ම ඉතාම ගුණදායක කැඳ වර්ගයකි. තිරිඟුපිටි හෙවත් පාන්පිටි භාවිතයට පැමිණීමට පෙර ශ්‍රී ලාංකිකයන් අතර සහල් වලට පසුව ප්‍රධාන පිෂ්ඨය ලබාගන්නා ආහාරය වූයේ කුරක්කන් ය. කුරක්කන් ග්‍රෑම් සියයක කිලෝ කැලරි 330 පමණ අඩංගුවේ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ තන්තු ප්‍රධාන වශයෙන්ම ඇත. විටමින් B1, B2, නියසින්, රයිබොෆ්ලේවින්, තයමින් වැනි විටමින් වර්ග ද යකඩ, පොස්පරස්, තෙල් සහ මේද සුළු වශයෙන් ද එහි අඩංගු ය. කැල්සියම් වැනි පෝෂක ද අඩංගු වන බැවින් කුරක්කන් කැඳ කුඩා දරුවන්ගේ දත් සහ අස්ථි වර්ධනය පිණිස උපකාරී වේ. ඔවුන්ගේ උදරාශ්‍රිතව ඇතිවන අජීර්ණ තත්වයන් හට ද දිගුකාලීන ප්‍රතිකර්මයකි.
තලප වලට වඩා පහසුවෙන් ආහාරයට එක්කරගත හැකි නිසා කුරක්කන් කැඳ කුඩා දරුවන්ට වඩා යෝග්‍ය ය. එසේම කැල්සියම් පැවතීම නිසා ඔස්ටියෝපොරෝසිස්, ඔස්ටියෝආතරයිටිස් වැනි අස්ථි සම්බන්ධ රෝගයනට ඉතා ප්‍රතිඵල දායක වේ. තන්තු හෙවත් කෙඳි බහුල ආහාරයක් නිසා ආහාර මාර්ගයේ අපහසුතා ඇති රෝගීනට ඉතාම ගුණදායක වේ. එම කෙඳි සහිත ස්වභාවය නිසා කොලෙස්ටෙරෝල් රෝගීන් හට මෙන්ම හෘද රෝගවලින් පෙලෙන අයට ද හොඳ ආහාරයකි. විශේෂයෙන් Glycemic index අගය අඩු නිසා දියවැඩියා රෝගීන්ගේ පිෂ්ඨ අවශ්‍යතාවය සඳහා හොඳ විකල්පයකි. පහසුවෙන් ජීර්ණය වන ආහාරයක් නිසා නිතරම කුසගිනි ඇතිවීමට, බඩ පිපුම හා අජීර්ණ තත්වයන්ට දිව ඔසුවකි. එමෙන්ම කෙඳි ගතිය නිසා මලද්‍රව්‍ය පහසුවෙන් පිටකරවීමට ද දායක වේ.
අන්ත්‍රවල නිපදවෙන සහ ආහාරපාන සමඟ පැමිණෙන විෂ කොටස් ශරීරයෙන් ඉවත් කරයි. කුරක්කන් කැඳ සතියකට දෙතුන් වරක්වත් පානය කිරීමෙන් අග්න්‍යාශගත රෝගවලට විසඳුමක් ලැබේ. කුරක්කන් මගින් අග්න්‍යාෂයේ ඉදිමුම් සුවකර එහි ක්‍රියාකාරීත්වය යහපත් කරයි. රුධිර සංසරණ පද්ධතියේ ධමනි ආශ්‍රිත රෝග නැති කරයි. රුධිරාණු නිපදවීම ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීමට දායක වේ. ශරීරයේ ශක්තිය වඩවන ආහාරයකි. එමගින් ශරීරයේ සමස්ත රුධිර සංසරණය යහපත් අතට හරවයි. එසේම වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන අධික තරබාරුව වැනි බෝ නොවන රෝගවලට ගුණදායක වේ. විශේෂයෙන් සිරුරේ සන්ධිවල සහ මාංශපේශීන්වල ක්‍රමානුකූල වර්ධනයට, උදරයයේ හා ඉනේ මාංශ පේශීන් එල්ලා වැටීම අවම කිරීමට මහෝපකාරී වේ.

3. කිතුල්පිටි කැඳ

ඉතාම ප්‍රණීත මෙන්ම සිසිල්, ගුණදායක ආහාරයකි. කිතුල් පිටි ආශ්‍රිතව නිපදවූ අයිස්ක්‍රීම්, යෝගට්, පුඩිං, ටොෆී වර්ග මෙන්ම කැඳ වෙළඳපොලේ දක්නට ඇත. කිතුල්පිටි ආශ්‍රිත කැඳ ඔබට ඉතා පහසුවෙන් නිවසේදී සකසාගැනීමට ද හැකිය. එසේ කාල වේලාවක් නොමැති අයට වෙලදපොලෙන් පහසුවෙන් මිලදීගැනීමට කැද පැකට් තිබේ. කිතුල්පිටි කැඳ වල වැඩි වශයෙන් අඩංගුවන්නේ කාබෝහයිඩ්‍රේටයි. එසේම පොස්පරස්, පොටෑසියම්, ප්‍රෝටීන්, ඛනිජ ලවණ වර්ග, විටමින් සහ මේදය ද සුළු වශයෙන් අඩංගු වේ.
ආයුර්වේදයේ එන අන්දමට කිතුල් පිටි කැඳ සිසිල් ගුණ සපිරි ආහාරයකි. එබැවින් උෂ්ණාධික රෝග සඳහා සහ ගැස්ට්‍රයිටීස් සඳහා ඉතාම ගුණදායක වේ. ආහාර රුචිය වඩන පානයක් ලෙස ද මෙය හැදින්විය හැකිය. මහළු අයට, ගැබිණි මව්වරුන්හට මෙන්ම කුඩා දරුවන්ටද යෝග්‍ය වේ. අර්ශස් රෝගීන් හට ද ආහාර මාර්ගයේ හා උදරයේ තුවාල පවතින අයට ද, අධි රුධිර පීඩනය සහිත රෝගීන්හට ද සුදුසු ආහාරයකි. ශරීරයේ වර්ධනය මෙන්ම ශරීර ශක්‍තියද වඩන ආහාරයකි. කෙසේ වෙතත් සීනි සහිත ආහාරයක් නිසා දියවැඩියා රෝගීන් හට පාලනයකින් යුතුව ගතයුතු ආහාරයකි. ඇදුම ආදී ශ්වසන රෝග සහිත රෝගීන්නට සුදුසු නොවේ.

4. සව් කැඳ

පහසුවෙන් සපයාගත හැකි ධාන්‍ය විශේෂයක් වන සව් මගින් සාදාගන්නා කැඳ ඉතාම ගුණදායක ආහාරමය පානයකි. ශරීරය සිසිල් කිරීමේ විශ්මිත හැකියාවක් සව් කැඳවලට ඇත. අතීතයේ පටන් අපේ රටේ දේශීය ආහාර රටාව ගැන අවබෝධයක් ඇති ගෘහණියන් දෙල්, බලමාලු, ඉස්සන්, කකුළුවන් සහ දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ආහාර කෑම වේලට එක්කිරීමෙන් පසු, එහි පවතින උෂ්ණාධික බවට ප්‍රතිකර්මයක් ලෙස සව් කැඳ කෝප්පයක් පිළිගැන්වීම පුරුද්දක් කරගෙන සිටියෝ ය. විශේෂයෙන්ම පැපොල, කම්මුල් ගාය, සරම්ප වැනි වෛරස් රෝගාබාධයන් සහ නගන, ඇස් ලෙඩ වැනි රෝග සඳහා ද ගුණදායකවේ. එහිදී සව්කැඳවල පවතින සිසිල් ගුණය මෙන්ම ආහාර රුචිය වඩවන ගුණයද උපකාරී වේ.

ඉක්මනින් ජීර්ණය වන පිෂ්ඨය, සව් කැඳ වලින් සිරුරට එක්කරගත හැකිය. එය උදරයේ ඇතිවන අපහසුතා මගහරවයි. විශේෂයෙන්ම ශරීරය දුර්වල රෝගීන්හට සුදුසුම ආහාරයකි. කුඩා දරුවන්ට සහ මහලු අයටද ශාරීරික යෝග්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරීවිය හැකිය. සව් කැඳවල පවතින ප්‍රණීත රසය නිසා බොහෝ දෙනා එයට ප්‍රිය කරයි. ගර්භණී මව්වරුන් සඳහා මෙන්ම, ඔවුන්ගේ කුසෙහි වර්ධනය වන නොමේරූ කළලයන්හි නිරෝගී බව වර්ධනය කිරීමටද සව් කැඳ දිව ඔසුවකි. එසේම ඔවුන්ට ගර්භනී කාලයේ ඇතිවන ආහාර අරුචියටද සව්කැඳ හොඳම විසඳුමකි. නමුත් සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ව වලදී සව් කැඳ පානය එතරම් සුදුසු නොවේ.

සව් වල අඩංගුවන ඛණිජ ලවණ වර්ග, කැල්සියම් සහ විටමින් වර්ගත්, ශාකමය ප්‍රෝටීන වර්ගත් සිරුරට මහත් ගුණදායක වේ. මෑත ඉතිහාසයේ කරන ලද සොයාබැලීම් වලට අනුව පිළිකා රෝගය හේතුවෙන් සහ පිළිකා රෝග වලට ප්‍රතිකාර ලෙස සිදුකෙරෙන Chemo therapy, Radiation therapy, Hormone therapy ආදී සමහර සුවිශේෂී සායනික ප්‍රතිකාර විධි වලින් පසුව ඇතිවන ඔක්කාරය, ආහාර අරුචිය, ශරීරය කෙට්ටුවීම වැනි ආබාධ වලින් පීඩා විඳින්නන්ට සිය නිවෙස් වලදීම කළ හැකි පහසුම ප්‍රතිකර්මයක් වන්නේ සව්කැඳ පානය කිරීමයි.
සව් කැඳ සැකසීමේදී හැකිතාක් අඩු සීනි ප්‍රමාණයක් යොදාගත යුතු ය. එසේම කරාබුනැටි, කරදමුංගු ආදී සමහර කුළුබඩු වර්ග සහ පොල් කිරි යෙදීමෙන් සව්කැඳ පානය වඩා රසවත් වනවා සේම, මිහිරි සුවඳක් ද එයට එක්කරගත හැකිය.

5. සුදුළූණු කැඳ

බොහෝදෙනා නොදන්නා කරුණක් වුවත් මුළුතැන්ගෙයි අනිවාර්ය කුළුබඩුවක් වන සුදුළූණු යොදාගෙන බෙහෙවින් ගුණදායක මෙන්ම රසවත් සුදුළූණු කැඳ පිළියෙල කරගත හැකිය. මෙය සාමාන්‍යයෙන් ලුණුකැඳ සකසා ගන්නා ආකාරයෙන්ම ඉතා පහසුවෙන් සකසාගත හැකි කැඳ වර්ගයකි. එහිදී කැකුළු හාල් තැම්බීමට පෙර තලාගත් සුදුළූණු එයට එක්කරගැනීම කළ යුතු ය. සුදු ලූණු කැඳ පානය කිරීම මගින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම, හෘද රෝග පාලනය, අධික රුධිර පීඩනය පාලනය කිරීම, ආතරයිටිස් රෝගයි සමනය, සහ සිරුරේ ප්‍රතිශක්තිය වැඩවීම ආදී කරුණු සිදුවේ. එසේම සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි ආසාදනද දුරුකරවීම, සෙංගමාලය, ඇදුම, මුඛ රෝග, මූත්‍රා මාර්ගයේ ආබාධ සහ පෙණහළු ආශ්‍රිත ආබාධ සඳහා දීර්ඝකාලීනව සුවගෙන දෙන ඖෂධීය පානයක් වශයෙන් සුදුළූණු කැඳ සැලකේ.

6. දේශීය සහල් කැඳ

දේශීයව ලංකාව තුල වගා කරන ලද සහ වගා කෙරෙන සහල් විශේෂ බොහෝ සංඛ්‍යාවක් පවතියි. සුවදැල්, සුදු හීනැටි, කලු හීනැටි, තණ හාල්, මඩතාවලු සහ වෙනත් දේශීය සහල් රැසක් පවතින අතර ඒවායේ ගුණය අතිමහත්‍ය. කාබෝහයිඩ්‍රේට් වලට අමතරව විටමින් බී වර්ග බොහෝමයක් ද, ප්‍රෝටීන, මේදය සහ යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ මේවායේ බහුලව අඩංගු වේ. එසේම තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම් ද මේවායේ සුළු වශයෙන් අඩංගු වේ. මෙවැනි පෝෂක අඩංගු දේශීය සහල් වලින් සකසාගන්නා ලද කැඳ වල ඇති ගුණය ද බොහෝ ඉහළය. වැඩිහිටියන් හට මෙන්ම කුඩා දරුවන්ගේ නිරෝගි බව පවත්වාගැනීමට මෙම දේශීය සහල් වලින් සාදාගන්නා ලද කැඳ පානය උපකාරී වේ.
සිරුරේ පවතින කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ත මට්ටමක් දක්වා අඩු කරවීම මගින් රුධිර වාහිනීවල අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම වැළකේ. එමගින් හෘද රෝග සඳහා ඇති අවදානම අඩු කෙරේ. ආහාර හොඳින් ජීර්ණය පහසු කිරීම, දියවැඩියාව වැනි රෝග පාලනය මෙන්ම ශරීරයට ඉහල ශක්තියක් ලබාදීම ද මෙම සහල් කැඳ පානයෙන් සිදුවේ.
ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිත ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමටත්, එමගින් බෝවන රෝග වලට නිරාවරණය වීමට ඇති අවදානම අවම කරවීමටද මෙම කැඳ පානය ඉවහල් වේ. මව්කිරි අහිමි කුඩා දරුවන් හට අවශ්‍ය පෝෂණය නිසි ලෙස ලබාදීමට තණ හාල් කැඳ උපකාරී වන බව පැවසේ. තවත් ගුණයන් රැසක් ලබාගැනීමට දේශීය සහල් කැඳ පානයට ඔබත් අදම පුරුදු වන්න. වෙලදපොලේ මිලදීගැනීමට ඇති කැඳ පැකට්ටු, වෙනත් කෘතිම බීම වර්ග සහ කිරි පිටි වලට වඩා පෝෂණයක් ඔබට ලබාදෙනු නිසැකය.

හැකිතාක් ‘කැඳ බොන්න’

මෙහි දැක්වෙන කැඳවර්ග වලට අමතරව තවත් බොහෝ කැඳ වර්ග ඔබේ ආහාර වේලට එක්කරගැනීමේ හැකියාව පවතී. ශ්‍රී ලාංකිකයින් ලෙස අවට පරිසරයෙන් සහ වෙළඳපොලෙන් බොහෝ පහසුවෙන් සොයාගත හැකි ධාන්‍ය වර්ග, පළා වර්ග, ඖෂදීය පැළෑටි ආදිය මේ සඳහා භාවිත කල හැකිය. එමගින් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය ගුණයන් ඉමහත් සංඛ්‍යාවක් එකවර ලබාගැනීමේ හැකියාව ඇත. මතක ශක්තිය වර්ධනය කිරීම, සිරුරේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීම, සම පැහැපත් වීම, ඇස්වල ක්‍රියාකාරීත්වය වැඩිකිරීම වැනි පොදු වාසි රැසක් කැඳ වර්ග භාවිතයෙන් පහසුවෙන්ම ළඟාකරගත හැකිය. විශේෂයෙන්ම කිරිපිටි භාවිතය කෙතරම් දුරට ශාරීරිකව ගුණදායක ද යන්න පිළිබඳව විවාදාත්මක මාතෘකාවක් වී ඇති මේ කාලයේ, ඔබේ උදෑසන කිරි තේ කෝප්පය පෝෂ්‍යදායී කැඳ කෝප්පයකින් ප්‍රතිස්ථාපනය කිරීම වඩාත් යහපත් බව ඔබටම වැටහීයනු ඇත.

මෙම සටහන ලියූ මුල් කතුවරයාට හදවතින් නැගෙන ස්තූතිය !!! ...❤️🙏🌹

💓 අර්ශස් වලට ගුණ වැල්පෙනෙල 💓☘️විවහාවී පළමු රැය ගතකිරීමට පෙර එදා මුතුන් මිත්තන් පානය කල වැල් පෙනෙල කැඳ සතු ගුණ 20 ක්☘️ඖෂධ...
27/04/2023

💓 අර්ශස් වලට ගුණ වැල්පෙනෙල 💓

☘️විවහාවී පළමු රැය ගතකිරීමට පෙර එදා මුතුන් මිත්තන් පානය කල වැල් පෙනෙල කැඳ සතු ගුණ 20 ක්

☘️ඖෂධ වර්ග අතර විශ්ව ආකර්ෂණය දිනාගත් ඖෂධීය වැල් විශේෂයක් ලෙස වැල් පෙනෙල හඳුනාගත හැකිය. එනම් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකගත හැකි වැල්පෙනල කඩතොලු හැඩැති සම්මුඛ පත්‍ර දරන ආධාරක මත හොඳින් වැඩෙන වැල් විශේෂයකි. එමෙන්ම හටගන්නා මල් ඉතා කුඩා වන අතර ඵලය පිරවූ බැලුමක හැඩයෙන් යුතු වේ. එනම් ඵලය පුපුරා ගිය ගිය විට එහි ඇති බීජ මගින් ප්‍රචාරණය සිදුවේ.

☘️වැල් පෙනෙල බොහෝ රෝග සමනය කිරීමට භාවිතා කරන බැවින් එය විශ්ව ආකර්ෂණයට ලක්වූ ශාකයක් බව සෘෂිවරුන් සඳහන් කර තිබේ. එමෙන්ම ජෝතිෂ්‍යය වේදීන් සඳහන් කරන්නේ වැල්පෙනල ශාකය දැකීමෙන් හෝ ස්පර්ශ කිරීමෙන් සිකුරු ග්‍රහයාගේ අපල දුරුකර ගත හැකි බවයි.

☘️කෙසේ නමුත් වැල් පෙනෙල කැඳ පානයක් ලෙස,සම්බෝලයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එනම් වැල් පෙනෙල වල ශරීරයට හිතකර රසායනික සංයෝග රැසක් අඩංගු වේ. වැල්පෙනෙල ශාකයේ අඩංගු රසායනික සංයෝග. Saponin, Quebrachitol and an alkaloida glucoside, resins යන ආදී රසායනික ඒ අතර ප්‍රධාන වේ. මේ නිසා වැල් පෙනෙල සම්බෝලයක් ලෙස හෝ කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය.

වැල් පෙනල කැඳ පානය සකස් කර ගත හැකි ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

සෝදා පිරිසිදු කර ගත් වැල් පෙනල කොළ මිටක්
වතුර කෝප්ප එකක්
කැකුළු සහල් මිටක්
ලුණු
පොල් කිරි
පෙනෙල කොළ වලට වතුර ස්වල්පයක් එක් කර හොඳින් කොටා යුෂ වෙන් කර ගන්න. කැකුළු සහල් සෝදා සාමාන්‍ය බතක් ලෙස පිස ගන්න. ඉන් පසුව එයට මිරිකා ගත් පොල් කිරි සහ පෙනෙල කොළ යුෂ රස පදමට ලුණු එක් කර උතුරන විට ලිපෙන් බා මදක් නිවුණු පසු හකුරු සමඟ පානය කරන්න. මෙහි තිත්ත රසය මදක් හෝ අඩු කර ගැනීමට තිබ්බටු කොළ, ගොටුකොළ, මුගුණුවැන්න යොදා ගත හැකිය. මෙසේ කැඳ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම්

සම පැහැපත් කිරීමට
චර්ම රෝගයන්ට
මුත්‍රා රෝගයන්ට
පක්ෂගාත රෝගයට
රක්තාතීසාරය සඳහා
ශුක්‍ර ධාතු වැඩීමට
හිසකෙස් වර්ධනය කිරීමට
පණු රෝග සමනයට
උදර වේදනාවට
මලබද්ධය
කාන්තා රෝග
අර්ශස් රෝගය
ආමවාත සහ සන්ධි ප්‍රදාහයන්ට
සර්ප විෂට, මී විෂට
මාන්දමට
ආදී රෝගයන්ට වැල්පෙනෙල ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
වැල්පෙනෙල ශාකයේ ඖෂධීය භාවිතය

☘☘️අර්ශස් සඳහා අර්ශස් සමනය කිරීමට වැල් පෙනල දලු, රතුලූනු, කොහිල දලු,යන සියල්ලෙන් සමව ගෙන කොටා ලබා ගත් යුෂ පානය කිරීම හෝ එම යුෂ වලින් කැද සකස් කර පානය කිරීම සිදුකරයි.

☘️අර්ශස් ගෙඩි සඳහා අර්ශස් ගෙඩි සුව කර ගැනීම සඳහා වැල්පෙනල ශාකය ම කොටා එඬරු තෙල් සමග මිශ්‍ර කර අර්ශස් ගෙඩිවල ආලේප කිරීම මගින් එම ගෙඩි සුව කර ගත හැකිය.

☘️සන්ධි ප්‍රදාහය සදහා සන්ධි ප්‍රදාහය සඳහා වැල්පෙනෙල ඇට හා කොළ පිරිසුදු පොල්තෙල් සමඟ සිඳුවා එම ස්ථානවල ගැල්වීම යෝග්‍ය වේ.

සන්ධි ඉදිමුම්, වේදනා සුව කිරීම සඳහා නොයෙක් අස්ථි හා සම්බන්ධ රෝග ඇති වූ විට එනම් ආතරයිටීස්, ඔස්ටියෝ පොරෝසිස් වැනි සන්ධි ආශ්‍රිතව ඇතිවන ඉදමුම්, වේදනා සඳහා වැල්පෙනෙල එඬරු තෙල් සමග අඹරා සන්ධි ඉදමී ඇති ස්ථානවල ආලේප කිරීම මගින් එම රෝග සුවපත් කර ගත හැකිය.

මී විෂ නැසීම සඳහා වැල්පෙනල , රතුලූනු, යුෂ සමග දෙහි ඇඹුල් මිශ්‍රකර පානය කිරීමෙන් මෙන්ම එම ස්ථානවල එම ප්‍රලේපය ආලේප කිරීමෙන් විෂ ඉවත්ව යාම සිදුවේ.

හිසකෙස් වර්ධනය කිරීම සඳහා පෙනෙල කොළ මිටක් පමණ ගෙන රාත්‍රියේ වතුරේ දමා තබා එම දියෙන් ම අඹරා හිස ගල්වා පැයක් පමණ තබා ස්නානය කිරීමෙන් හිසකෙස් වර්ධනය කර ගත හැකිය. මෙවැනි රෝග සුව කර ගැනීමට වැල් පෙනෙල කැඳ පානයක් ලෙස, සම්බෝලයක් ලෙස, ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය....

මෙම සටහන ලියූ මුල් කතුවරයාට හදවතින් නැගෙන ස්තූතිය 🙏❤️👌🙏❤️👌💝
ස්තුතියි 🙏🙏🙏

🍈"දිවුල්"🍈=========දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් ...
27/04/2023

🍈"දිවුල්"🍈
=========

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි.

ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයක්. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්.

දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙනවා. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස ගන්නවා.

දිවුල් කියන්නේ වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරක්. ඒ නිසාම මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත කියලත් හඳුන්වනවා. සවිමත් කටුවක් ඇති ගෙඩි නිසා දැඩි ඵල කියලත්, දැඩි සුවඳකින් සමන්විත නිසා ගන්ධ ඵල කියලත් හඳුන්වනවා.

දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් එහි තිඛෙන්නේ සුවිශේෂ රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම්, යකඩ වගේ ඛනිජ වර්ග වගේම විටමින් A, B වගේ පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගතයි. කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් කියලත් දිවුල් හඳුන්වන්න පුළුවන්. ඖෂධ පිණිස ගෙඩි ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයක්ම භාවිත කරන්න පුළුවන්.

🍈වඳ බව නසන දිවුල් ඛෙහෙත

ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්‍රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඖෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි.

🍈අතීසාරයට දිවුල්

අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඖෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඖෂධයක්.

🍈අර්ශස්වලටත් දිවුල් ගුණයි

ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි.

🍈කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක්

කුඩා දරුවන්ට නිතරම වැලඬෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.

🍈බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට

අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්‍ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමග හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඖෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි.

🍈අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය

ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් ඛෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්‍ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න.

🍈දද කුෂ්ඨවලට දිවුල්

උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්‍ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි.

🍈සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ

සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඖෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිඛෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඬෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඖෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්.

එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්‍ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්.

🍈මුත්‍රා රෝගවලට ගුණ දිවුල්

බොහෝ දෙනෙක් උදරයේ මුත්‍රා ගල් තිඛෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්‍රාශය ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් ඒ පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න.

රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්‍ය පදමට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සාමාන්‍ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි.

🍈ලේ පිරිසුදු කරන දිවුල්

දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

🍈රස පිරි දිවුල් කිරි

ඉදුණු දිවුල් ගෙඩි කිහිපයක මද අරගෙන ඒවා හොඳින් පොඩිකර ගන්න. පසුව එයට අවශ්‍ය පමණට වතුර මිශ්‍ර කර හොඳින් කලවම් කරගෙන පෙරා ගන්න. පෙරාගෙන ඇට ඉවත් කර ගත් පසු ඒ යුෂට පොල් කිරි මිශ්‍ර කරගන්න. ලුණු සහ සීනි අවශ්‍ය පදමට දමා අවශ්‍ය නම් දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කරගෙන අමුත්තාට සංග්‍රහ කරන්න. ගෙදර අයටත් මෙය වටිනා රසවත් ගුණවත් පලතුරු පානයක්.

🍈දිරවන්නේ නැති අයට දිවුල්

සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි ඛෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඖෂධයකින්ම ග්‍රෑම් 15 බැගින් අරගෙන මිශ්‍ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඖෂධ මිශ්‍රණය එයට දමා හොඳින් මිශ්‍ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමගින් සුව වෙනවා.

🍈සෙමට හා කැස්සට දිවුල්

ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්‍ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි.

🍈දිවුල් අඩංගු ඖෂධ

දිවුල් ඖෂධය සම්පාදිත ඖෂධ රැසක් බාහිර ඖෂධහල්වල පවතිනවා. ඒ අතරින් ‘කපිත්තා පඨක චූර්ණය’ ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්‍රහණිය ආශ්‍රිත රෝග වැනි රෝගවලින් සුව වීමට. ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් ර්ණීර්ථීච් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය.

මෙම සටහන ලියූ මුල් කතුවරයාට හදවතින් නැගෙන ස්තූතිය !!! ❤️🙏🌹

මුරුංගා කොළ කැද...ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන,දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා  කොළ.. 🌿🌿🌿                      දීර්ඝාය...
27/04/2023

මුරුංගා කොළ කැද...

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන,
දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ.. 🌿🌿🌿

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා හැර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා හැර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි....

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්....

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...

* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...

* නිවිතිවලට වඩා විසිපස් ගුණයක යකඩ !
* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.
එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.

*රුධිර වාහිනී 55%
*අක්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද...

මෙම සටහන ලියූ මුල් කතුවරයාට හදවතින් නැගෙන ස්තූතිය !!!

කැමතියි නම් ශෙයා කරන්න

🌿🌿හීන් බෝවිටියා  🌿🌿මේ මිහිතලය මත අගය කියා නිම කරන්නට නොහැකි තරමේ ඖෂධීය වටිනාකමින් යුක්ත පැලෑටි තියෙනවා. ඒ අතුරින් ඇතැම් ...
27/04/2023

🌿🌿හීන් බෝවිටියා 🌿🌿

මේ මිහිතලය මත අගය කියා නිම කරන්නට නොහැකි තරමේ ඖෂධීය වටිනාකමින් යුක්ත පැලෑටි තියෙනවා. ඒ අතුරින් ඇතැම් ඖෂධ පැලෑටි අපේ රටට පමණක් ආවේණික ඒවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන හීන් බෝවිටියා ශාකයත් ලංකාවට පමණක් ආවේණික වටිනා ශාකයක්. මෙය දකුණු පළාත් පුෂ්පය විදියටත් ඉතා වැදගත් වෙනවා.බෝවිටියා වර්ග ගණනාවක් ඉන්දියාව ඇතුළු වෙනත් බොහෝ රටවල්වල දකින්නට ලැබුණත් හීන් බෝවිටියා ශාකය ලංකාවට පමණක් ආවේණිකයි.

Melastomataceae උද්භිද කුලයට අයත් හීන් බෝවිටියා ශාකය ශ්‍රී ලංකාවේ තෙත් කලාපවල වගේම අතරමැදි දේශගුණික කලාපයන්වලත් බහුලව දකින්නට ලැබෙනවා. ඒ හැරුණාම ලංකාවේ අනෙකුත් කලාපවලින් ද සොයා ගන්නට පුළුවන්. මේ හීන් බෝවිටියාවල සිංහල නාමය කුරුවීනා. කොහොමනමුත් අද මේ ශාකය මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වෙමින් යාම කණගාටුවට කාරණයක්. බීජවලින් වගේම මුල්වලින් පැල හටගන්නා මේ ශාකය ඉතා ඉහළ ඖෂධීය ගුණවලින් පිරිපුන් නිසාවෙන් සෑම නිවසකම වගා කරගත යුතු පැලෑටියක්.

මේ හීන් බෝවිටියා ශාකය අඩි දෙකක් හෝ දෙක හමාරක් තරම් උස පැලෑටි වශයෙන් දැකිය හැකි අතර එය තරමක් රළු ස්වභාවයක් ගන්නවා. බහු වාර්ෂික ශාකයක් වන මෙහි එකිනෙකට සමාන්තරව පිහිටි පත්‍ර තරමක් ඝන කොළ පැහැයෙන් දකින්නට පුළුවන්. පත්‍රවල මද වශයෙන් බූව දකින්නට පුළුවන්. ඒ වගේම කොළවල ඉරි තුනක් ලෙස රේඛා පවතිනවා.හීන් බෝවිටියා ශාකයේ මල පෙති පහකින් යුක්ත අතර එය දම් පැහැයෙන් යුත් අලංකාරවත් එකක්. පඳුරක් ලෙස වර්ධනය වන හීන් බෝවිටියා ශාකයේ කුඩා අතු ශක්තිමත් බවින් අඩුයි. පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තයි. බෝවිටියා ශාක අතර හීන් බෝවිටියා, මහ බෝවිටියා සහ එළ බෝවිටියා වශයෙන් වර්ග කිහිපයක් පවතිනවා. ඒ අතුරින් හීන් බෝවිටියා රෝග රාශියකටම ගුණදායක ඖෂයක් ලෙසට ජනතාව අතර ප්‍රචලිතයි.

◾භාවිතයට ගත හැකි ආකාර -
හීන් බෝවිටියා ශාකයේ හට ගන්නා කුඩා දම් පැහැ ගෙඩි ඉදුණු පසු පලතුරක් ලෙස ආහාරයට ගනු ලබනවා.මේ හීන් බෝවිටියා පත්‍ර කොළ කැඳ වශයෙන් වගේම දළු ඉතා රසවත්ව සම්බෝලයක් වශයෙන් සකසා ගන්නට පුළුවන්. ඒ වගේම මෙහි දළු මැල්ලුම් වශයෙන් සකස් කර ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා.

🔺 හීන් බෝවිටියා ශාකයේ ඖෂධීය වටිනාකම

◾හීන් බෝවිටියා කැඳ

▪️සකස් කර ගන්නා ආකාරය -
කැකුළු සහල් ස්වල්පයක් හොඳින් සෝදා හොඳින් තම්බා ගන්න. හීන් බෝවිටියා කොළ කොටා එහි යුෂ වෙන් කර ගන්න. එහි රොඩු ටිකට පොල් දමා කොටා දෙවරක් මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදු ළූණු බික් 2 ක් හා අමු ඉඟුරු දමා තැම්බූ පසු පොඩි කර මිරිකාගත් පොල් කිරි දමා හොදින් පස්සවා ගෙන ලුණු සහ කොළ යුෂ එකතු කර උතුරවා විනාඩි 3 ක් පමණ හැදි ගා පානය කරන්න. අවශ්‍ය නම් හකුරු සමඟ පානය කරන්න.

මෙය සකස් කර ගැනීමේදී දියවැඩියාව කොලෙස්ටරෝල් ඇති අය පොල් නොදමා සකස් කරගන්න. කොලෙස්ටරෝල් රෝගීන් සුමානයකට දෙපාරක් මේ හීන් බෝවිටියා කැඳ වර්ගය පානය කිරීම සුදුසුයි.

🔸සැලකිය යුතුයි.

🔹හීන් බෝවිටියා කැඳ ඇතුළු ඕනෑම කැඳ වර්ගයක් සකස් කිරීමේදී ලුණු කුඩු නොයොදා ලුණු කැට ස්වල්පයක් එකතු කිරීමට මතක තබා ගන්න.

🔹හීන්බෝවිටියා කැඳ රුධිරයේ මේදය අධික පුද්ගලයන්ට ගුණදායකයි.

🔹සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. මෙය හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කිහිපයක් ලුණු නොදමා හිස් බඩ පානය කිරීමෙන් සුවය ලැබෙයි.
🔹
හීන් බෝවිටියා කැඳ උදෑසන කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.

🔹සිරෝසීස් වැනි රෝග අවස්ථාවල භාවිතා කළ හැකියි.

🔹බඩ පුරවා දැමීම නසාලයි.

🔹මුත්‍රා රෝග දුරු කරයි.

🔹අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.

◾හීන් බෝවිටියා ව්‍යංජනය

▪️සකස් කර ගන්නා ආකාරය –
හීන් බෝවිටියා කොළ හොඳින් තම්බා හොඳින් අඹරා ගෙන එය මැටි මුට්ටියකට දමා එයට සිහින්ව ලියාගත් රතුළූණු, සුදු ළූණු, අමු මිරිස්, කරපිංචා සහ උම්බලකඩ එකතු කරන්න. අවශ්‍ය පමණට තුනපහ, ගොරකා හා සියඹලා එකතු කර දියකිරි දමා ලිප තබා හිදී ගෙන එද්දී මිටි කිරි එකතු කර හොදින් පැහෙන විට ලිපෙන් ඉවත් කර අවශ්‍ය පමණට ලුණු එකතු කර ගන්න.

🔹සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.

🔹බඩේ ඉදීමීමකින් තොරව කීපවරක් බඩඑලියේ යනවිට හීන්බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් සුවයක් ලඟා කරගත හැකියි.

🔹හීන් බෝවිටියා ව්‍යංජනය හා සලාදය දිනපතා දවස 5-7 ත් අතර කාලයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.

◾තම්බා පානය කිරීම

🔹හීන් බෝවිටියා කොළ, පොතු, කඳ, මුල් ආදි සියල්ලේම ඇත්තේ ඉතා ඉහළ ඖෂධීය ගුණයක්. තේ වෙනුවට තම්බා පානය කිරීමෙන් ගුණ රැසක් ලබා ගන්නට පුළුවන්. මෙසේ තම්බා පානය කිරීම අර්ශස් රෝගයට ඉතා ගුණදායකයි. නමුත් සතියකට දෙවරක් තුන්වරක් ඉදහිට පානය කිරීම මිස දිනපතා පානය කිරීම සුදුසු නැහැ.

🔹හීන්බෝවිටියා ශාකයම තම්බා පානය කිරීම මුත්‍රා දැවිල්ල දුරු කරයි.

◾වෙනත් ඖෂධීය ගුණ

🔹ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.

🔹පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.

🔹අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.

හීන් බෝවිටියා, උඩහලු, මොනර කුඩුම්බිය ,මුස්සැන්ද හා යකිනාරං යන ශාකවල කොළ සහ මුං ඇට දමා සාදනු ලබන කැඳ මාසයක් පමණ ආහාරයට ගැනීමෙන් අක්මා රෝගය සුවපත් කරනු ලබනවා. අක්මාවේ දියවුණු කොටස් පවා නැවත ලියලන බව පැවසෙන අතර අක්මා රෝගය සඳහා වන සාර්ථකම ඔසුව මෙය බවටයි සඳහන් වන්නේ. නමුත් මේ කැඳ දිනපතා පානය කිරීම සුදුසු නැහැ. දවසක් හැර දවසක් පානය කිරීමෙන් අක්මාවේ දුර්වල වුණු සෛල වර්ධනය කරනවා.

🔹ලේ පිරිසිදු කරයි. එබැවින් දද කුෂ්ට ආදිය දුරු කරයි.

🔹ආහාර රුචිය ඇති කරයි.

🔹හීන් බෝවිටියා ළපටි කොළ සම්බෝලය දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.

ඉතින් හීන් බෝවිටියා ශාකය සෑම නිවසකම තිබිය යුතු පැරැන්නන් විවිධ රෝග සඳහා ආහාර කොටගත් වටිනා ශාකයක්. එබැවින් සෑම නිවසකම වගා කරගත යුතු ඖෂධීය පැලෑටියක්.

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි ..
මෙම සටහන ලියූ මුල් කතුවරයාට හදවතින් නැගෙන ස්තූතිය !!!!
#කොළකැද #ඖෂධීය
#හෙළඔසු #ඔසුපැන්

Address

Ja/ela/gampaha
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Green Lanka smoothy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category