14/08/2026
සැලඩ් කන්න කට්ටිය මෙච්චර කැමති කියලා මම ඇත්තටම හිතුවේ නෑ. මම ඊයේ පෙරේදා දාපු පෝස්ට් එකේ සැලඩ් රෙසිපි අහලා තිබුණ අය නිසාම ඊයේ රෑට කන්න හදපු සැලඩ් එක කන්න කලින් දඩිබිඩියේ ෆොටෝ එකක් ගත්තා. වීඩියෝ එකක් බාගෙට කර කර උන්නේ. එළියට යන්නත් තිබ්බ නිසා වීඩියෝ එකේ අන්තීම ටිකක් කලබලයි. ඒක හිමීට අරජ් එනකම් මේ සැලඩ් එකට දැම්මේ මොනාද බලමු..
අද සැලඩ් එකට මගේ ඩ්‍රසිං එක red wine vinegar වලින් හැදුවේ. එහෙම නැති නම් තියෙන විනාකිරි එකක් ගන්න ඒත් පොල් විනාකිරි නැතුව. මම හිතනවා ඒකේ රස සැලඩ් වලට හරි යන එකක් නෑ කියලා.
මෙ සැලඩ් එක මම හැදුවේ බීෆ් පොඩි කෑලි කපලා පෑන් ෆ්‍රයි කරලා. බීෆ් නොකන අය ඉතිං වෙන එකක් ගේනකම් ඉන්න වෙනවා.
ඉස්සෙල්ලාම බීෆ් ටික පොඩි බයිට් සයිස් කෑලි වලට කපාගන්න. ඒකට ඔලිව තෙල්, ලුනු, ගම්මිරිස්, ගාර්ලික් පව්ඩර් දාලා විනාඩි පහක්වත් මැරිනේට් වෙන්න දෙන්න. ඊට පස්සේ පෑන් ෆ්‍රයි කරන්න මස් ටික පාට වෙනකම්. ආයේ තෙල් දාන්න් ඕනා නෑ පෑන් එකට. ඒ සීසන් වෙන්න දාපු තෙල් ටික ඇති. හැබැයි ඉතිං තෙල් දානවා කියලා, ඔලිව තෙල්නේ කියලා ගොඩාක් දාන්න එපා. එක මේසහැන්දක් වගේ ඇති. හදාගත්ත මස් ටික පොඩ්ඩක් නිවෙන්න දෙන්න.
ඒ අතරතුර සැලඩ් එකට ඕනා ඒවා ටික ලෑස්ති කරගන්න. මම mixed green leaves, cucumber, tomatoes, canned mais එක්ක චූටියට කපාගත්ත රතුපාට ළූනු භාගයක් එකතු කලා. ළූනු ගද්දි රතුපාට ඒවම ගන්න. ඒවා අමුවෙන් කන්න පුළුවන්, පැණි රසයි. මේ ළූනු ගොඩාක්ම තියෙන්නේ අමුවෙන් කන්න සැලඩ් වර්ග වලට, පිකල් කරන්නමයි.
ඒකත් හරි...
දැන් අපි ඩ්‍රසිං එක හදමු.
සැලඩ් ඩ්‍රසිං එක පොඩි බෝතලයකට, වහන්න පුළුවන් කප් එකකට හදන්න ගන්න. එතකොට ශේක් කරන්න ලේසියි. සැලඩ් ඩ්‍රසිං මෙහෙම ශේක් කරලා හදපු ක්‍රීමි වගේම රසයි. ඉතුරු ඒවා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නත් පුළුවන්. මම මේවා හදනකොට දවස් දෙක තුනකට එක පාර හදනවා. එකම වැඩේ හැමදාම කරන්න ඕනානැහැනේ එතකොට.
කප් එකට ඔලිව තෙල්, ලුනු, දෙහි යුෂ, red wine vinegar, Dijon mustard cream, මී පැණි එකතු කරලා හොදට ශේක් කරන්න. මී පැණි එකතු කරන්නේ රස බැලන් වෙන්න. නැත්නම් acidity ගතිය වැඩියි ඔයාගේ ඩ්‍රසිං එකේ. මීපැණි නැති නම් maple syrup/date syrup වගේ උනත් ගන්න පුළුවන් ඔයාට.
දැන් මේ ඔක්කොම එක බෝල් එකකට දාලා කලවම් කරන්න තමා තියෙන්නේ. හරිම රසයි, ලේසියි, ගුණයි වගේම බඩත් පිරෙනවා..
එහෙනම් තව සැලඩ් එකක් අද හෙට අරන් එනකම් සුබ දවසක්...