06/08/2026
තේ ටේස්ටර් කෙනෙක් කොහොමද ලංකාවම හොල්ලපු බිස්නස් අධිරාජ්‍යයක් හැදුවේ?
ව්‍යාපාරික ලෝකයේ සමහරු ඉන්නවා සද්ද නැතුව ගේම ගහන. හැරී ජයවර්ධන කියන්නේ අන්න ඒ වගේ චරිතයක්. මෙයාගේ බිස්නස් ගමන පටන්ගන්නේ අද ඊයේ නෙවෙයි. එංගලන්තයට අයිති තේ සමාගමක සාමාන්‍ය විදිහට වැඩ කරපු තේ රස බලන්නෙක් (Tea Taster) විදිහට. සාමාන්‍ය ජොබ් එකකින් බිස්නස් ලෝකෙට අඩිය තියපු හැරී, 70 දශකයේ මැද භාගයේදී රජයේ තේ අපනයන අංශයේ උසස් නිළදාරියා වෙනවා. හැබැයි 1977 දී ආණ්ඩුව වෙනස් වෙද්දී මෙයා රජයේ ජොබ් එකට තිත තියලා තමන්ගේම කියලා ස්ටැන්ස් (Stassen) කියන තේ අපනයන සමාගම පටන් ගන්නවා.
එතනින් තමයි ලංකාවේ ව්‍යාපාරික ඉතිහාසය වෙනස් කරපු ඒ දැවැන්ත ගමන පටන් ගත්තේ. තේ වලින් විතරක් නවතින්නේ නැතුව පොල්, කුළුබඩු, කාබනික තේ වගේ දේවල් ජපානයටයි ජර්මනියටයි යවලා රටට ඩොලර් ගෙනාපු හැරී, 1988 දී හැටන් නැෂනල් බෑංකුවේ ප්‍රධාන කොටස් හිමියා වෙද්දී මුළු ව්‍යාපාරික ලෝකයම මෙයා දිහා පුදුමයෙන් බලන්න ගත්තා.
දේශපාලනික වශයෙනුත් මෙයා ලොකු වෙනසක් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම ගැන ප්‍රධාන උපදේශකයෙක් වුණ හැරී, එමිරේට්ස් එකට පවරා දීලා තිබුණු ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත රජයට ගත්තට පස්සේ ඒකේ සභාපති ධුරයටත් පත්වුණා. හැබැයි මෙයාගේ කතාවේ තියෙන ලස්සනම සිද්ධිය වෙන්නේ මෙයා මුලින්ම රැකියාව කරපු කොළඹ බේබෲක් වීදියේ පැරණි තේ ගබඩාව පස්සේ කාලෙක මෙයාම සල්ලි වලට අරන් එතන "මෙල්ස්ටා රීගල්" මව් සමාගම පටන් ගැනීමයි. තමන් වැඩකාරයෙක් විදිහට පටන් ගත්ත තැනම අයිතිකාරයා වෙනවා කියන්නේ වෙනමම දෙයක් නේද?
අද වෙද්දී එයිට්කන් ස්පෙන්ස්, ලංකා බෙල්, කොමර්ෂල් බෑන්ක්, හැටන් නැෂනල් බෑන්ක්, අඟිලිපිටිය පවර් ප්ලාන්ට්, ලක්ස්ප්‍රේ, ස්කාගාර සංස්ථාව (DCSL) විතරක් නෙවෙයි කණ්ඩලම හෝටලය ඇතුළු මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ හෝටල් පවා පාලනය වෙන්නේ මෙයාගේ යටතේ. ඒ විතරක් නෙවෙයි, පාඩුවට දිව්ව රජයේ ස්කාගාර සංස්ථාව මෙයාගේ අතට ගත්තට පස්සේ ඒක කොච්චර සාර්ථකව කළමනාකරණය කළාද කිව්වොත්, රජයට ලැබුණු බදු මුදල විතරක් තුන් ගුණයකින් වැඩි වුණා.
අක්කර දහස් ගණන් වතුපිටි, කිරි නිෂ්පාදනය වගේ හැම ක්ෂේත්‍රයකම පෙරළි කරපු හැරී ජයවර්ධන කියන්නේ පෞද්ගලික අංශයේ හුදෙක් සල්ලි හම්බකරපු කෙනෙක් විතරක් නෙවෙයි, රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වුණු සැබෑම ව්‍යාපාරික දැවැන්තයෙක්.